මීට පස්සේ මරණ සහතික නිකුත් කරන්නේ මෙහෙමයි - විශේෂ QR කේතයක් සමඟ සියල්ල වෙනස් වෙයි
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කරන ඊ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල ලෙස එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින බත්තරමුල්ලේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු විය.
ඒ අනුව මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කරයි.
එමෙන්ම මෙසේ ඩිජිටල් පද්ධතියක් ඔස්සේ මරණ සහතික නිකුත් කිරීමෙන් නිරතුරු යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරුවල සුරක්ෂිතතාව ද තහවුරු වන බව සඳහන්.
මෙහිදී නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය ඔස්සේ ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි ලෙස විශේෂ QR කේතයක් අඩංගු කර තිබෙන අතර, මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියක බව වාර්තා වේ.
මේ අතර මෙම වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට අඳාළ ව මුද්‍රණය කරන ලද පළමු මරණ සහතිකය කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා වෙත ප්‍රදානය කර ඇත.