මුළු ලංකාවටම අසුබ ආරංචියක් - තෙල් මිල තවත් වැඩි වේ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදුවන අඛණ්ඩ ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මැදපෙරදිග යුද්ධය කෙටි කාලීනව සමනය වනු ඇති බවට මුලදී පුරෝකථනය කළ ද, එය දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම හේතුවෙන් මෙරට ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, වැඩිදුරටත් සඳහන් කළේ මේ සතියේ ද තෙල් මිල තවත් වැඩි වූ අතර දැනට පවතින සියයට 5.4 ත් 5.5 ත් අතර මට්ටම ඉදිරියට තවත් අනිවාර්යයෙන්ම වැඩිවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බවය.
දත්ත විශ්ලේෂණය කිරීමේදී තෙල් මිල වැඩි වුවද තවමත් දේශීය පරිභෝජනයේ අඩුවක් දක්නට නොලැබෙන බැවින් උද්ධමනය සියයට 5 සීමාවේ සිට සියයට 7 දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී.
මේ සඳහා පෙර සූදානමක් ලෙස පසුගිය සතිය තුළ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගත් අතර, ඒ හරහා ඉදිරි මාස තුන තුළ පවතින වෙළඳපොළ ඉල්ලුම යම් ආකාරයකට සමනය කර ඉල්ලුම අඩු කිරීම තුළින් උද්ධමනය පාලනය කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර නීත්‍යානුකූලව උපයාගත් ඕනෑම මුදලක් ශ්‍රී ලංකාවට එවීම සඳහා කිසිදු පුද්ගලයෙකුට බාධාවක් නොමැති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රට තුළ පවතින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති පද්ධතියට යටත්ව, යම්කිසි නීත්‍යානුකූල මුදලක් විදේශීය බැංකුවක් හරහා නැවත ශ්‍රී ලංකාවේ බැංකුවකට එවීමට කිසිදු බාධාවක් නොමැති වුවද, නීත්‍යානුකූල නොවන මුදල් එලෙස රට තුළට එවීම සිදු කළ නොහැකි බව ද හෙතෙම පැහැදිලි කළේය.