ශ්රී ලංකාවේ වක්ර බදු අධිකයි - දේපළ බද්ද ගැන රජයේ තීරණයක් නැති බව ඇමති අනිල් ජයන්ත කියයි
ශ්රී ලංකාවේ වක්ර බදු පවතින්නේ ඉතා ඉහළ මට්ටමක බවත්, බදු ව්යුහයේ වෙනසක් සිදුකිරීමේ අවශ්යතාවක් පවතින බවත් කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
කෙසේ වෙතත්, දේපළ බද්දක් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.
2027 අයවැය ඉදිරිපත් කිරීමට පෙර ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධව සංවිධානය කළ ආයතනික ආයෝජක සංසදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්රකාශ කර ඇත.
දේපළ බද්ද ගැන රජයේ තීරණය
ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන යටතේ මුලින් දේපළ බද්දක් හඳුන්වාදීමට යෝජනා කර තිබූ නමුත්, එය ක්රියාත්මක කිරීමේදී මතුවූ බාධා සහ එහි බලපෑම් පිළිබඳ පැවති ගැටලු හේතුවෙන් එම ක්රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බව නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දී තිබේ.
බදු ප්රතිපත්ති සකස් කිරීමේදී ඒවායේ වාසි සහ අවාසි සැලකිල්ලට ගත යුතු බවත්, පැහැදිලි පදනමක් නොමැතිව තීරණ නොගන්නා බවත් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම, බදු ප්රතිපත්ති සම්බන්ධයෙන් හදිසි වෙනස්කම් සිදු නොකරන බවත්, අදාළ පාර්ශ්ව සමඟ ප්රමාණවත් සාකච්ඡාවකින් පසුව තීරණ ප්රසිද්ධ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
තේ වගාකරුවන්ට සහ පැළ තවාන් හිමියන්ට දැවැන්ත සහනයක් - ලක්ෂ 10ක ආවරණයක් -අයදුම් කරන හැටි සහ කොන්දේසි මෙන්න
බදු ආදායම ඉහළ නැංවීමත් අත්යවශ්යයි
බදු ව්යුහයේ වෙනස්කම් සිදුකිරීමේදී රජයේ ආදායම් ඉහළ නැංවීම සහ රාජ්ය මූල්ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අත්හැරිය නොහැකි බව ද නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කර ඇත.
ඔහුගේ ප්රකාශයට අනුව, 2025 වසර අවසන් වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය 2030 වසර සඳහා මුලින් නියම කර තිබූ සියයට 15.4ක ඉලක්කයට වඩා ප්රතිශතාංක 1.3ක ඉහළ යාමකි. 2030 වසර වන විට රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් පමණ දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.
එමඟින් අත්යවශ්ය රාජ්ය ආයෝජන සඳහා වැඩි මූල්ය අවකාශයක් නිර්මාණය කරගත හැකි බව ඔහුගේ අදහසයි. වැට් බද්ද අඩු කිරීම ගැනත් අදහසක් දැනට ක්රියාත්මක සියයට 18ක එකතු කළ අගය මත බද්ද (VAT) සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව නියෝජ්ය අමාත්යවරයා පිළිගෙන තිබේ.
කෙසේ වෙතත්, රජයේ ආදායම් රැස්කිරීමේ ක්රියාවලියට හානි නොවන පරිදි වර්තමානයේදී එම බද්ද අඩු කිරීම අසීරු බව ද ඔහු පෙන්වා දී ඇත.
අනාගතයේදී බදු සංශෝධන සිදුකරන විට සාධාරණත්වය, සරල බව සහ පහසුව යන මූලධර්ම සැලකිල්ලට ගන්නා බව ද ඔහු සඳහන් කර තිබේ.
IMF වැඩසටහන යටතේත් දේපළ බද්දක් යෝජනා වී තිබුණා
2023 වසරේදී ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ එකඟ වූ ආදායම් ඉහළ නැංවීමේ පියවර අතර රටපුරා දේපළ බද්දක් හඳුන්වාදීම ද ඇතුළත් විය.
පසුව, 2025 අප්රේල් මාසයේ සිට ක්රියාත්මක කිරීමට යෝජනා කර තිබූ දේපළවලින් උපයාගත හැකි කුලී ආදායම මත පදනම් වූ බද්දක් ඒ වෙනුවට යෝජනා කෙරුණු නමුත්, 2024 නොවැම්බර් මහ මැතිවරණයෙන් පසුව එම යෝජනාව ද අත්හැර දමන ලදී.
2027 අයවැය තුළ දෙවැනි නිවාස හෝ අතිරේක නේවාසික දේපළ සඳහා බද්දක් හඳුන්වාදීමට IMF පාර්ශ්වයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවට ද වාර්තා පළවී තිබේ.
කෙසේ වෙතත්, රජය පවසන්නේ තමන් සැලසුම් කර ඇති ආදායම් ඉහළ නැංවීමේ පියවර මඟින් නියමිත ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇති බවයි.