ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්
ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය වාර්තා කර ඇත්තේ ඉන්ධන සැපයුම යම්තාක් දුරට සාමාන්‍ය මට්ටමකට පැමිණ ඇති බවයි. ඩීසල් සහ පෙට්‍රල් සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් අසල පැවති දිගු පෝලිම් අඩු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පමණක් තවමත් ඉන්ධන නොමැතිව වසා දමා ඇති බව බෙදාහරින්නන් වාර්තා කරයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලදී, ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 20කින් (20%) ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කර තිබූ නමුත්, ඊට ප්‍රතිචාර වශයෙන් සියයට 15ක (15%) වැඩිවීමක් ලබා දීමට පියවර ගැනිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ප්‍රවාහන කටයුතු මේ වන විට සාමාන්‍ය මට්ටමකට පැමිණ ඇති බව ඉන්ධන ප්‍රවාහන සංගම් පෙන්වා දෙයි.
රට පුරා ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බාධාවක් නොමැති බැවින්, අනවශ්‍ය ලෙස කලබල නොවන්නැයි සහ ඉන්ධන තොග වශයෙන් රැස් කර තබා ගැනීමෙන් වළකින ලෙස ද එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, පසුගිය දින කිහිපය පුරා පැවති ඉන්ධන අර්බුදය ඊයේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දී ඇත.