ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමත් සමඟ රෝගය පාලනයට පිට රටින් එන්නතක් - දිරි සති හතර අතිශය අවදානම්
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලොව පුරා භාවිත කරන විශේෂ ඩෙංගු එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා මේ වන විට මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කොළඹ ඊයේ (06) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ පවතින ඩෙංගු වෛරස් ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති හතර මෙරටට අතිශය අවදානම් සහගත කාලසීමාවක් වනු ඇති බවයි.
මේ අතර, වර්ධනය වෙමින් පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (07) දිනයේදීත් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
කෙසේ වෙතත්, වත්මන් ඩෙංගු මර්දන වැඩසටහන් තුළින් අපේක්ෂිත සැබෑ අරමුණු ඉටුකර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
එසේම, වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ක්ෂේත්රයේ වැටලීම් සිදුකිරීමේදී නෛතික ගැටළු රැසක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්. එස්. සී. ප්‍රසාද් මහතා පෙන්වා දෙයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් 61,060ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබේ.