බන්ධනාගාර ගැටුමට හේතුව මත් ද්‍රව්‍යය පාවාදීම විතරද? - ගැටුමට මුල් වූ තවත් කතාවක් එළියට
මීගමුව බන්ධනාගාරයේ නියමිත ධාරිතාව 650ක් වුවද, එහි ධාරිතාව මෙන් හතර ගුණයකට ආසන්න එනම් රැඳවියන් 2,600කට ආසන්න පිරිසක් රඳවා සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.
බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා මෙලෙස අධික ලෙස රැඳවියන් රඳවා සිටින විට මෙවැනි දරුණු නොසන්සුන්තා ඇතිවන බවට විවිධ කොමිෂන් සභා වාර්තාවල පවා පෙන්වා දී තිබුණ ද, බලධාරීන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඔහු බරපතළ ලෙස චෝදනා කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා, නීතිඥ සේනක පෙරේරා මහතාගේ ප්‍රකාශයට කියා සිටියේ මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417 දෙනෙකු රඳවා සිටි බවයි.
කෙසේ වෙතත්, දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පැවසූ ගජනායක මහතා, මෙම සිදුවීම බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව ඇති වූවක් නොව, රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමක් බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ රහසිගත තොරතුරු කිහිපයක් පාවාදීම හෝ හෙළි කිරීම මෙම ගැටුමට මූලික හේතුව වන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පළ කරයි.
මීට අමතරව, රැඳවියන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් කිහිපයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.