ලංකාවම හොල්ලන මහා සීනි ජාවාරමක් - ටොන් 4,250ක් සමඟ සැකකරුවන් පැලියගොඩදී කොටු
By Malith Madushan
පෑලියගොඩ පොලිස් බලප්‍රදේශයේ පෙතියාගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, ඊයේ (06) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී රුපියල් මිලියන 850ක පමණ වටිනාකමකින් යුත්, පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක්, එනම් සීනි මිටි 85,000ක් සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43, 45, 47 සහ 61 අතර පසුවන කඩුවෙල, අංගොඩ, පිළියන්දල සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.