මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ප්‍රතිකාර ලැබු තවත් අයෙකු මරුට - මිය ගිය ගණන 27 දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම මරණයත් සමඟ බන්ධනාගාර නොසන්සුන්තාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, උද්ගත වූ මෙම බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) තීරණය කර ඇත.
එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, බන්ධනාගාරය තුළ සිදු වූ මෙම සමූහ ප්රචණ්ඩත්වය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන බවයි.
ඒ සඳහා ඊයේ (06) දිනයේදී මීගමුව බන්ධනාගාරය වෙත කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් යොමුකිරීමට පියවර ගත්ත ද, බන්ධනාගාර පරිශ්‍රය තුළ පැවති දැඩි ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එදින විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළදී සිය නිලධාරී කණ්ඩායම නැවත වරක් මීගමුව බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම පිළිබඳ පූර්ණ සාක්ෂි කැඳවීම් සහ විමර්ශන කටයුතු නිල වශයෙන් ආරම්භ කරන බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේය.