ඊශ්‍රායලයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

By Shehan Jun 15, 2025 03:35 AM GMT
Shehan

Shehan

Report

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඊශ්‍රායලයේ රැකියාවල හෝ වෙනත් සේවාවල නියුතු ශ්‍රී ලාංකික පුද්ගලයින් සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර ඇත.

එම දැනුම්දීම මගින්, ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය සහ ගුවන්තොටුපළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට නැවත ඊශ්‍රායලයට පැමිණීමට ඇති බාධා පිළිබඳව තානාපති කාර්යාලය වෙත වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.

ඊශ්‍රායලයේ මේ වන විට පවතින උත්සන්න යුදමය වාතාවරණය හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපළවල් ඇතුළු ගුවන් ගමන් මාර්ග තාවකාලිකව වසා දමා ඇත. මෙම තත්ත්වය හේතුවෙන්, ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ නැවත ඇතුළුවීමේ වීසා (Re-entry Visa)වලට අනුව නියමිත දිනවලදී ඊශ්‍රායලයට ආපසු යාමට නොහැකි විය හැකි බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, නැවත ඇතුළුවීමේ වීසාවල වලංගු කාලය ඉකුත් වුවහොත්, එම පුද්ගලයින්ට යළි ඊශ්‍රායලයට ඇතුළු වීමට නීතිමය බාධා ඇති විය හැකි බවයි. එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා, මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින එවැනි සියලුම ශ්‍රී ලාංකිකයින් 2025 ජූනි 15 (අද) දිනය තුළ තමන්ගේ තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.

තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කරමින් ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නැවත ඇතුළුවීමේ වීසාවල වලංගු කාලය දීර්ඝ කිරීමට තානාපති කාර්යාලය බලාපොරොත්තු වන බවයි. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා, ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත. ඒ අනුව, අදාළ පුද්ගලයින් තමන්ගේ විස්තර (නම, වීසා අංකය, ඊශ්‍රායලයේ රැකියාව, සම්බන්ධතා තොරතුරු ආදිය) තානාපති කාර්යාලය වෙත ලබා දීම ඉතා වැදගත් ය.

තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබා දීම සඳහා, ශ්‍රී ලාංකිකයින්ට පහත දුරකථන අංකවලට WhatsApp මාර්ගයෙන් සම්බන්ධ විය හැකිය:

071-844 73 05

071-683 35 13

071-974 20 95

මෙම දුරකථන අංකවලට අද දින තොරතුරු යොමු කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටී. එසේම, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය (slembisrael@sltnet.lk) හරහා ද තොරතුරු ලබා දිය හැකි බව දැනුම් දී ඇත.

ReeCha