ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයීම සීමා කෙරේ - අති විශේෂ නිවේදනයක්

By Sithumi Dec 03, 2021 02:19 PM GMT
Sithumi

Sithumi

Report

රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් පමණ ගතවන බව වාර්තා වෙයි. එබැවින් විදුලි ඉල්ලුම මත පදනම්ව කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙගාවොට් 900ක විදුලිය නිපදවන බලාගාර 3 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනතුරු එලෙස ඉදිරි දින කිහිපයේ දිවයින පුරා ප්‍රදේශවල එලෙස කෙටිකාලීන විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි. විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මෙලෙස පද්ධතියේ පූර්ණ බිඳවැටීමක් සිදුව ඇත්තේ කොත්මලේ ග්‍රීඩ් උපපොළේ සිට බියගම ග්‍රීඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන රැහැන් මාර්ගයේ බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙස බවය. හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්වී තිබුණි.

මේ අතර අමාත්‍යවරුන්ගේ මාධ්‍ය හමු සහ උත්සව අවස්ථා කිහිපයක්ම පවතින අවස්ථාවේදී විදුලි සැපයුම බිඳවැටීමෙන් ඊට බාධා එල්ලවුණි. හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ බොහෝමයක ජල සැපයුමට ද බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් ජලය නොමැතිව ද ජනතාව දැඩි අපහසුතාවට පත්වුණි. එමෙන්ම කන්තලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු ඇණහිටීමත් සමඟ තඹලගමුව, කින්නියා, ත්‍රිකුණාමලය ප්‍රදේශවලද ජල සැපයුම ඇණහිට තිබුණි. ඒ අතර විදුලි සැපයුම ඇණහිටීමත් සමඟ කොළඹ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්ද දක්නට ලැබුණි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ සිය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

"වෘත්තීය ක්‍රියාමාර්ගය අද තාවකාලිකව අත්හිටවූවා.ඉල්ලීම්වලට ජනපතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා. ජනපති සමග සාකච්ඡා කිරීමට නියමිතයි.සාකච්ඡාවලින් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. දිවයින පුරා අද විදුලිය බිඳවැටුනා. ඒකට හේතුව කොත්මලේ - බියගම දක්වා වන සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක්. ලක්ෂපාන - කොළඹ දක්වා වන සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක්. ඒ සමග පද්ධතියේ අසමතුලිතතාවයක් ඇතිවුණා. තාක්ෂණික හේතුවක්. වෘත්තිය ක්‍රියාමාර්ගය නොසළකා පද්ධතිය යථා තත්ත්වයට පත්කළා. 100%ක් විදුලිය ප්‍රතිස්ථාපනය කළා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW