දකුණු ආසියාවේ අනාගතය ගෝලීය බල තුලනයෙන් පමණක් තීරණය නොවේ - අගමැතිනියගෙන් ප්‍රකාශයක්

Report

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව ජනතාව පාලනය කරන රජයක් නොව, ජනතාව සමඟ එක්ව පාලනය කරන, විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ සියලු දෙනා ඇතුළත් කරගත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) විසින් ප්‍රථම වරට දකුණු ආසියාවේ සංවිධානය කරන ලද “වෙනස් වෙමින් පවතින ලෝක දේශපාලනය තුළ දකුණු ආසියාව” යන තේමාව යටතේ පැවැත්වෙන ISA – South Asia in World Politics (SAWP) Conference 2026 සමුළුවට එක්වෙමිනි.

කොරියා, අබුඩාබි, ජපන් ඇතුළු රට යන්න හීන දැකපු හැමෝටම විදේශ රැකියා නි.ඇමතිගෙන් සුබ ආරංචියක් - හෙදියන්ටත් විශේෂ අවස්ථා

කොරියා, අබුඩාබි, ජපන් ඇතුළු රට යන්න හීන දැකපු හැමෝටම විදේශ රැකියා නි.ඇමතිගෙන් සුබ ආරංචියක් - හෙදියන්ටත් විශේෂ අවස්ථා

අගෝස්තු 6 සිට 8 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෘත්තිකයන් සහභාගී වෙති.

දකුණු ආසියානු කලාපයේ අනාගතය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, ආසියාවේ තරුණ ජනගහනය, වර්ධනය වන මානව සම්පත සහ ආර්ථික අවස්ථා කලාපයේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධක වන බවයි.

තනි රටක සංවර්ධනයට පමණක් අවධානය යොමු නොකර, කලාපීය සංවාද, සහයෝගීතා සහ දැනුම හුවමාරුව ශක්තිමත් කිරීම තුළින් අන්තර් සම්බන්ධිත හා සමෘද්ධිමත් දකුණු ආසියාවක් ගොඩනැගිය හැකි බවද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව මේ වනවිට විනිවිදභාවය, වගවීම සහ සියල්ලන් ඇතුළත් පාලනයක් ශක්තිමත් කරමින් ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යමින් සිටින බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

“ශ්‍රී ලංකාවේ පරිවර්තනය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ඉවසීම, නිහතමානීභාවය, ස්වයං විමර්ශනය සහ සත්‍යයට මුහුණ දීමේ ධෛර්යය අවශ්‍යයි. අපගේ ඉලක්කය වන්නේ ජනතාව පාලනය කරන රාජ්‍යයක් නොව, ජනතාව සමඟ පාලනය කරන විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතු මානුෂීය රාජ්‍යයක් ගොඩනැගීමයි,” යනුවෙන් ඇය පැවසුවාය.

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය, සියලු දෙනා ඇතුළත් සංවර්ධනය, යුක්තිය, සමානාත්මතාව සහ කලාපීය සහයෝගීතාව සඳහා ඇති කැපවීම මත බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

එමෙන්ම, දකුණු ආසියානු රටවල පවතින විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමය තරුණ පරපුරේ ඉගෙනුම් අත්දැකීම් සහ අනාගත අවස්ථා සීමා කරන බව සඳහන් කළ ඇය, ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් වෙනස් වී වෘත්තීය අවස්ථා සහ සමාජයට වැඩදායී පුරවැසියන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් වෙත යොමුවෙමින් සිටින බව පැවසුවාය.

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයි

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයි

ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණක් බවද ඇය සඳහන් කළාය. ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, විනිවිදභාවයෙන් යුතු, වගවීම සහ දූෂණයෙන් තොර පාලනයක් පිළිබඳව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ධනාත්මක පිළිගැනීම රටේ දේශපාලන පරිවර්තනයේ ප්‍රගතිය පෙන්නුම් කරන බවයි.

දරිද්‍රතාව තවමත් ප්‍රධාන අභියෝගයක් වුවද, ආර්ථික වර්ධනය, ක්ෂේත්‍ර සංවර්ධනය සහ රාජ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ හරහා නව අවස්ථා නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.

ISA–SAWP Conference 2026 සමුළුව හරහා භූදේශපාලනය, කලාපීය ආරක්ෂාව, ආර්ථික සහයෝගීතාව, දේශගුණික විපර්යාස, යහපාලනය සහ වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර පර්යාය පිළිබඳ නව පර්යේෂණ හා ප්‍රතිපත්ති සංවාද සඳහා වැදගත් වේදිකාවක් නිර්මාණය වන බවද සඳහන් වේ.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න