බන්ධනාගාරවල පවතින තදබදය පහත වැටෙයි - මාස 3කින් රැඳවියන් 5,000කට වැඩි පිරිසක් එළියට
බන්ධනාගාරවල පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා රජය ගත් නීතිමය සහ පරිපාලනමය ක්රියාමාර්ගවල ප්රතිඵලයක් ලෙස බන්ධනාගාරගත රැඳවියන්ගේ සංඛ්යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ, පසුගිය ජූලි 01 වන දින වන විට 41,993ක් ලෙස පැවති සමස්ත බන්ධනාගාර රැඳවියන් සංඛ්යාව සැප්තැම්බර් 30 වන විට 36,925 දක්වා පහළ ගොස් ඇති බවයි.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට
බන්ධනාගාරවල සෙනඟ වැඩිවීමට ප්රධාන හේතුවක් වූ රජයේ රස පරීක්ෂක වාර්තා ප්රමාදය මඟහරවා ගැනීමට කාර්ය මණ්ඩලය ශක්තිමත් කළ අතර, ඒ අනුව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පමණක් රස පරීක්ෂක වාර්තා 1,506ක් නිකුත් කිරීමට හැකිවූ බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි පනත් සංශෝධන යටතේ රස පරීක්ෂකවරයාට භාණ්ඩයක් ලැබුණු පසු මාස දෙකක් ඇතුළත වාර්තාව ලබා දීම අනිවාර්ය කිරීමට නියමිතයි.
එමෙන්ම නඩුවක් අවසන් වන තෙක් මත්ද්රව්ය තොග රඳවා තබා ගැනීම වෙනුවට, ඡායාරූප හෝ වීඩියෝ ගත කර මහේස්ත්රාත්වරයාට දැනුම් දී උසාවි කොන්දේසිවලට යටත්ව ඒවා කඩිනමින් විනාශ කිරීමට බලය ලබාදෙන නව නීතිමය සංශෝධන ගෙන එන බවත්, එමගින් සැකකරුවන්ගේ සාධාරණ නඩු විභාගයක අයිතියට කිසිදු අගතියක් සිදු නොවන බවත් අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.