දත්ත සොරකම් කිරීමේ සහ සයිබර් ප්‍රහාරවල දැවැන්ත තර්ජනයක් - PHP යොදාගන්නා සියලුම ආයතනවලට කෙරෙන හදිසි දැනුම්දීම මෙන්න!"

By Kanchana Oct 22, 2026 08:01 AM GMT
Report

PHP තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක අවදානම් කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සහ වෙබ් අඩවි සංවර්ධකයින් වෙත දැනුම් දී තිබේ.

ඔක්තෝබර් 21 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය  CERT ආයතනය පෙන්වා දී ඇත්තේ මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන් බලපෑමට ලක්වන පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වීම, දත්ත සොරකම් කිරීම සහ පද්ධති මෙහෙයුම් අඩාල වීම වැනි අවදානම් මතුවිය හැකි බවයි.

වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත වන තාක්ෂණයක් වන PHP ආශ්‍රිතව පවතින මෙම අවදානම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද එම ආයතනය ඉල්ලා සිටී.

ඒ අනුව, PHP භාවිත කරන සියලුම පද්ධති හඳුනාගෙන ඒවායේ මෘදුකාංග අනුවාද පරීක්ෂා කරන ලෙසත්, නිල PHP වෙබ් අඩවියේ ලබාදී ඇති උපදෙස් අනුව අදාළ ආරක්ෂක යාවත්කාලීන කිරීම් කඩිනමින් ස්ථාපනය කරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය [ ආයතනය උපදෙස් දී ඇත.

මීට අමතරව, පද්ධතිවල ලොග් වාර්තා පරීක්ෂා කර අසාමාන්‍ය ක්‍රියාකාරකම් හඳුනාගැනීමට කටයුතු කරන ලෙස ද ආයතන වෙත දැනුම් දී තිබේ. ආරක්ෂක යාවත්කාලීන කිරීම් යෙදිය නොහැකි, තීරණාත්මක මට්ටමේ ඉහළ අවදානමක් සහිත පද්ධති සඳහා අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමට ද නිර්දේශ කර ඇත.

මෙම පියවර මගින් සයිබර් ප්‍රහාරවල අවදානම අවම කර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කරගැනීමේ වැදගත්කම  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය  [CERT ]ආයතනය අවධාරණය කරයි.