ගුවන් තොටුපොළේ උන්හිටි තැනින් නැගිට පැන දිව් විදේශිකයා - ඔහු ඇල්ලීමට සේනාවක්

Katunayake Airport trending news gagana news sri lanka news today hot news suspect arrested
By krishani Jan 10, 2022 06:27 AM GMT
krishani

krishani

Report

අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ විදෙස් ජාතිකයෙක්, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ගුවන්තොටුපොළෙන් පිටතට දිව ගොස් ඇතැයි වාර්තා වේ.

ගුවන් තොටුපොළ වහලය ට නැග අදාළ විදේශිකයා දිව යමින් සිටිය දී, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව විදේස් ජාතිකයා අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ විදේශිකයා, අද අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සඳහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි එම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව විගමන කවුළුව වෙත පැමිණියේ, තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටය.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඒ අතරතුර විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටියදී , එකවරම ඔහු හිඳගෙන සිටි පුටුවෙන් නැඟිට, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව ගොස් ඇත.

විදේශිකයා, එකවරම අසල ඇති තාප්පයකට නැග, එයින් ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවී සිටින්නට වී තිබේ.

පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි, ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් වහාම විදේශිකයා වහළයේ සැඟවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කර තිබේ.

එම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සඳහන් අංකයක් "පච්ච" කොටා ඇතැයි අප වාර්තාකරු පැවසීය. මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ සැක පහළ කරති.

අත්අඩංගුවට පත් විදේශිකයා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ.             


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now