දෙසැම්බර් 16 ලෝකයම කළඹයි - මරණ දඬුවම අතේ තියාගෙන ෂේක් හසීනා යළි බංග්ලාදේශයට
ජනතා විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වී ඉන්දියාවේ රැඳී සිටින බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂේක් හසීනා ලබන දෙසැම්බර් 16 වැනිදා යළි සිය රටට පැමිණීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
2024 අගෝස්තු මාසයේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර රැඳී සිටින ඇය, තමන් යළි ඩකා නුවරට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලා ඇති බව ඇයගේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
මේ අතර, හසීනා නියෝජනය කරන අවාමි ලීග් (Awami League) පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කර තිබියදීත් එම පක්ෂයේ ආධාරකරුවන් විරෝධතා සංවිධානය කිරීමත් සමඟ බංග්ලාදේශය තුළ යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව තිබේ.
කෙසේ වෙතත්, ඇය නැවත බංග්ලාදේශයට පැමිණෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු වාර්තා වී නොමැත.
හසීනාගේ වසර 15ක පාලනය අවසන් කරමින් 2024 අගෝස්තු මාසයේදී ඇති වූ ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමේදී සිදුවූ මාරාන්තික සිදුවීම් සම්බන්ධයෙන් ඇයට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා එල්ල වී තිබේ.
ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශ අධිකරණයක් ඇය නොමැතිව නඩු විභාග කර මරණ දඬුවම නියම කර ඇති අතර, හසීනා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, ඇයට අවශ්‍ය කොන්දේසි යටතේ යළි බංග්ලාදේශයට පැමිණීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි යන අදහස බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් ප්‍රතික්ෂේප කර තිබේ.
2024 අගෝස්තු 5 වැනිදා දස දහස් ගණනක විරෝධතාකරුවන් ඩකා නුවරට පැමිණීමත් සමඟ විරෝධතාකරුවන් පිරිසක් ඇයගේ නිල නිවසට කඩා වැදුණු අතර, එම අවස්ථාවේදී ෂේක් හසීනා ඉන්දියාවට පලා ගියාය.