සිග්නල් හොයන්න ගිය 16 හැවිරිදි සිසුවා රටක් කම්පා කරමින් අවසන් ගමන් යයි.

Accident Signal Education Gossips School student death
By Aruna Nov 09, 2021 06:04 AM GMT
Aruna

Aruna

Report

‘‘ගෙදරට සිග්නල් නැහැ. ඒනිසා ගෙදර ඇතුළෙන් වයර් සම්බන්ධ කරලා එලියට වයර් දාලා රවුටරයට සිග්නල් අර ගන්න ගිහින් තමයි පුතාගේ ජීවිතය මේ විදිහට නැති වුනේ…”‍

ලූ‍ණුගල අලකොලගල පදිංචි ඞී.එම්.සුනිල් දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයේ පැවැති අ.පො.ස(සා.පෙළ) විභාගයෙන් සමත්ව මාර්ගගත ක්‍රමයට අපො.ස(උ.පෙළ) අධ්‍යයන කටයුතු සදහා රවුටර් යන්ත්‍රය සකස් කරමින් සිටියදී විදුලි සැර වැදී මියගිය සිය පුතුගේ අකල් වියෝව පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමිනි.

දහසකුත් එකක් දුක් පීඩා මැද අ.පො.ස(සා.පෙළ) විභාග දක්වා අධ්‍යාපනය ලැබ එම කඩ ඉමෙන් සමත් වූ ඞී.එම්. සත්සර රච්ත් සෙවුමාල් තම සහෝදර සිසු සිසුවියන් සේම උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළේ විදිමත් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙරාතුවමය.

තම සහෝදරියන් දෙදෙනාද සමග බ/ලූ‍ණුගල මැදි විදුහල් මාතාවගේ සෙවණේ අකුරු කළ සත්සරට දහසය වන විය ඉක්ම යෑමටත් පෙර තම සියළු ජීවිත අපේක්ෂාවන්ට නැවතීමේ තිත තැබීමට සිදු වූයේ තම මව පියා සහ සහෝදරියන් දෙදෙනාගේ පමණක් නොව තමන් ආදරය කළ විද්‍යාලයේ පමණක් නොව ප්‍රදේශවාසීන්ගේද නෙත් කඳුලින් පුරවාලමිනි.

‘‘පසුගිය 06වැනිදා මමත් බිරිඳත් දුවත් හිටියේ කුඹුරෙ. මියගිය ලොකු පුතාත් අනෙක් දුවත් අම්මාත් ගෙදර හිටියා.

හවස 4.30ට විතර අම්මා කුඹුරට දුවගෙන ඇවිත් කිවුවා ‘‘කොල්ලා ඉවරයි.

කරන්ට් එක වැදිලා. ඉක්මනින් ගෙදරට එන්න…’’ කියලා. මම ගෙදරට එනකොට පුතාගේ සිරුර ගෙදර කාමරයේ තිබුණා.

කතා කළේවත් දැඟලූ‍වේවත් නැහැ. පුතාගේ අතේ මල්ටිප්ලග් එකේ වයර් එක පැටලිලා තිබුණා.

මියගිය සත්සර ගේ පියා මරණ පරීක්ෂණයේදී කඳුළු පිරි දෙනෙතින් තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය සත්සරගේ සොහොයුරියක වන නෙලූ‍ම් සමන්තිකා මෙනෙවිය ද සාක්ෂි දුන් අතර පශ්චාත් මරණ පරීක්ෂණය ලූ‍ණුගල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ආර්.ඒ.එම්. සාන්ත වික්‍රමතුංග මහතා ඉදිරියේ පැවැති අතර ලූ‍ණුගල දිසා වෛද්‍ය ඞී.එම්. සමරසිංහ මහතා මෙම මරණය විදුලි සර වැදීමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කළ අතර සාක්ෂි මෙහෙයවීම ලූ‍ණුගල පොලිසියේ පො.සැ.66502 විජේරත්න මහතා විසින් සිදු කරනුලැබීය.

කෙසේ වෙතත් සත්සර තම ජීවිතයෙන් සමු ගන්නේ මෙරට අධ්‍යාපන පද්ධතිය මුහුණ පා ඇති ඛේදවාචකයේ තවත් පැතිකඩක් රට හමුවේ තබමිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha