රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

By R.rishma Apr 07, 2025 04:44 AM GMT
Report

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත්, ජුනි මැද වන විට මෙම තහනම ඉවත් කළ හැකි බවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම වීසා තහනමෙන් බලපෑමට ලක්වන රටවල් අතර පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය ඇතුළත් ය.

මෙම තාවකාලික සීමාව පැනවීමට ප්‍රධාන හේතු කිහිපයක් සෞදි නිලධාරීන් විසින් පෙන්වා දී ඇත. ඇතැම් පුද්ගලයින් බහු-ප්‍රවේශ වීසා භාවිතයෙන් සෞදි අරාබියට ඇතුළු වී, පසුව හජ් සමය දක්වා නීතිවිරෝධී ලෙස රැඳී සිටින බව සෞදි නිලධාරීන් සඳහන් කරයි.

මෙය අධික තදබදයකට සහ ආරක්ෂක අවදානම්වලට හේතු වන බව ඔවුන්ගේ අදහසයි. එසේම, ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත රටට ඇතුළු වන බොහෝ දෙනෙක් අවසරයකින් තොරව වැඩ කිරීම, වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම සහ ශ්‍රම වෙළඳපොළට බාධා ඇති කිරීම සිදු කරන බවට වාර්තා වී ඇත.

ඒ නිසා, හජ් සමයේ සංචාරක ගමනාගමනය පාලනය කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තාවකාලික වීසා තහනම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වීසා අයදුම්කරුවන් නව රෙගුලාසිවලට අනුකූල වන ලෙස කටයුතු කරන මෙන් බලධාරීන් ඉල්ලා සිටින අතර, එසේ නොකළහොත් දඩුවම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් ද කර තිබේ.