දේශපාලන වේදිකාව උණුසුම් කරමින් ෆොන්සේකාගෙන් තීරණාත්මක හෙළිදරව්වක්
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවී සුහඳ සාකච්ඡාවක යෙදුණේය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, තමන් දේශපාලනයට පිවිසුණු කාලයේ ආණ්ඩුවේ සිටි පිරිස අද විපක්ෂයට ගොස් සිටින බවත්, ඔවුන් ආණ්ඩුවට එරෙහිව නව සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ කරන බවත්ය.
වත්මන් ආණ්ඩුව වංචාවෙන් හා දූෂණයෙන් තොරව නිවැරදි මාවතකින් යන බැවින් තමන්ගේ සහයෝගය නිරතුරුව රජයට ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
පෙරේදා (01) ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු මහා විහාරයට ගිය ෆීල්ඩ් මාෂල්වරයා මහනාහිමියන් සමඟ සුහඳ පිළිසඳරක යෙදුණි.
එහිදී ඔහු විපක්ෂ කණ්ඩායම එකතු වී සිටින්නේ තමන්ගේ පුද්ගලික වාසි සඳහා බවත්, ජනතාවට යහපතක් කිරීමේ අරමුණක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
“එදා ආණ්ඩුවේ සිටියදී මගේ විවේචනයට භාජනය වුණු අය තමයි වර්තමානයේ විපක්ෂය නියෝජනය කරන්නේ. ඒ ගොල්ලන්ගේ වැරදි ගොඩක් තිබුණා. ගෝඨාභය හා මහින්ද එදා මම කළ මෙහෙයුම් වලටත් බාධා කරන්න උත්සහා කළා.”
“සටන ඉදිරියට ගෙනයන්න ඕන වෙලාවල්වල සටන් විරාම තියන්න මේ අය නියෝග කළ හැටි මම විස්තාරාත්මකව කියලා තියනවා. මේ අයගේ දුෂිත ගනුදෙනු මම අනාවරණය කළා. ඩොලර් 250 ට ගත්ත බෝම්මබයට මේ අය බලයට ඇවිල්ලා ඩොලර් 650 ගානේ ගෙවන්න පටන් ගත්තා. අවුරුදු 15 ක් ඇතුළත ඒ බෝම්බය වැඩි වෙලා තිබුණේ ඩොලර් 50 කින්. මේ ගොල්ලෝ බලය අරගෙන අවුරුද්දක් ඇතුළත ඩොලර් 400 කින් ඒකේ මිල වැඩි වුණා. ගෝඨාභයලා, මහින්දලා ඒ වගේ විශාල දූෂිත ගනුදෙනු කළා.”
“ඒවා හන්දා තමයි මම මේ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න බැහැ කියලා හෘද සාක්ෂියට එකඟව තීරණයක් අරන් එළියට බැස්සේ. ඒත් මේ අය හැදුනේ නැහැ. ඒ විදිහටම තමයි තාමත් වැඩ කරගෙන යන්නේ. දැහැමි, ධර්මිෂ්ඨ සත්ගුණවත් මිනිස්සු විදිහට තමයි පෙනී ඉන්නේ. ඒ වුණාට කරන තරමක් කරන්නේ රටට සහ ජනතාවට අගතියක් වන දරුණු අපරාධ හා වංචනික වැඩයි. ඒ නිසා මම මේ අය දේශපාලනයෙන් තුරන් විය යුතුයි කියන මතයේ තදින්ම ඉන්නවා. ඒ වෙනුවෙන් කැපවී වැඩ කරනවා.”
“වත්මන් රජයේ වංචා දූෂණ නැහැ. ඒ නිසා මගේ සහය ඔවුන්ට දෙනවා. යම් යම් වැරදි අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. වැරදි වෙලා තියෙනවා නම් ඒවා ගැන පරීක්ෂණ සිදුවිය යුතුයි. මේවා හරහා ජනාධිපතිවරයා, මැතිඇමැතිවරු හෝ ඔවුන්ගේ පවුල්වල උදවිය කෝටිපතියෝ වෙලා නැහැ. පසුගිය කාලයෙ වුණා වගේ රටේ තිබෙන සියලුම දේපොළ අවභාවිත කරලා මොවුන් යහමින් වැජබෙන තත්ත්වයක් දකින්න නොමැති බව කාටත් පේනවා.”
“ජනාධිපතිවරයා වගේම මැති ඇමැතිවරුත් කැප කිරීම් කරනවා. ඒ නිසා රටේ විශාල වෙනසක් පෙනෙන්න තියෙනවා.”
“තිබුණ ක්‍රමයට රට යනවට කවුරුත් කැමැති නැහැ. ඒ ගොල්ලෝ කළේ කෝටිපතියෝ වෙලා යහමින් වැජබෙන එකයි. මේ යන ක්‍රමය අනුව ගියොත් සොරකම්, වංචා,දුෂණ වගේ දේවල් අඩුවෙලා ඒවාහි ප්රතිලාභ ජනතාවට ලැබෙයි. මේ ක්‍රමය ඉදිරියට ගෙනියන්න ඕන. ඒක ජනතාව තේරුම් ගන්න ඕන. යම්කිසි ඇමැති කෙනක් වරදක් කරලා තියෙනවා දඩුවම් කළ යුතුයි. අධ්‍යාපන සහතික සම්බන්ධ ප්රශ්නය ආවම කතානායකවරයා තනතුරින් අයින් කළා. මේ වෙලාවේ ගල් අඟුරු සම්බන්ධයෙන් වංචාවක් වෙලා තියෙනවා නම් පරික්ෂණ කරලා වරදක් කළ කෙනෙක් ඉන්නවා දඩුවම් දිය යුතුයි.”