සරත් ෆොන්සේකා මතුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය..

By Sithumi Aug 13, 2022 11:26 AM GMT
Sithumi

Sithumi

Report

අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මර්දනය හමුවේ අරගලය මර්දනය වුවත් එහි සංකල්පය අවසන් නැතැයිද හෙතෙම සඳහන් කළේය. අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඊට කාලයක් ගතවනු ඇති බවත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

අරගලයේ දරුවන් මේ රට නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ දැරූ බවත් රටේ සියලු දෙනා ඒ දරුවන්ට හැකි සෑම අවස්ථාවකම උදව් උපකාර කළ යුතු බවත් ඔහු පැවසුවේය. දරුවන්ගෙන් පළිගන්න එපා යැයි තමා ජනාධිපතිවරයාගෙන් මහත් ඕනෑකමින් ඉල්ලීමක් කරන බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හදිසි නීතිය ට මුවා වී දරුවන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයෙන් පැපොල් කෑල්ලක් කාපු දරුවනුත් අද අත්අඩංගුවට ගන්නා බවට ඔහු චෝදනා කළේය. මේ රටේ අනාගතය විනාශ කළේ රාජපක්ෂවරුන් බවත් විදේශ රටවල තැන්පත් කර ඇති මෙරට දූෂිත දේශපාලඥයන්ගේ දේපළ රටට නැවත ගෙන්වා ගැනීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. අද රටේ පෝලිම් නැත්තේ තෙල් නැති නිසා බවද ඔහු සඳහන් කළේය.