සපුගස්කන්දේ කසළ ගොඩකින් මතුවූ කාන්තා මළසිරුර ගැන වෙනස්ම විදිහේ කතාවක් එළියට - කාන්තාව ඝාතනය කෙරූ ෆාතිමා සියල්ල වමාරයි..
"මුන්තාස් අපේ මල්ලිගේ රත්තරන් බඩු වගයක් බේරගන්න තියෙනවා. සල්ලිත් අරන් අපේ ගෙදර එනවාද" මට්ටක් කුලිය සමිටිපුර පදිංචි ෆාතිමා නස්රිනා මෙලෙස දුරකතන ඇමතුමක් දී මුදලුත් රැගෙන එන ලෙස පවසන්නේ උකස් කොට සින්න වෙන්න යන රන් බඩු බේරා දීමේ ව්‍යාපාරයක් කරගෙන යන මාළිගාවත්තේ පදිංචි මොහොමඩ් ශෆී පාතුමා මුන්නාස්ටයි. ඒ පසුගිය මාසයේ (ඔක්තෝම්බර්) 28 සවසයි.
මෙම ඇමතුම ලැබීමෙන් අනතුරුව ඇය නස්රිනා එන්නට කී ස්ථානයට යන අතර පසුව දෙදෙනා නස්රිනාගේ නිවසට යන්නේ ත්‍රීරෝද රියකින්. මුන්තාස් මේ ගමන යන්නේ සිය සැමියාට පැවසීමෙන් අනතුරුවයි. සාමාන්‍යයෙන් ඇය කොහේ ගියත් රාත්‍රීයේදී නිවසට පැමිණීම සිරිතයි. එහෙත් එදින ඇය නොපැමිණීම නිසා සැමියා යම් තරමක් කලබල වුණා. ඇමතුම් නොගත් තැන ඔහුට ඇති වූයේ සැකයක්. ඔහු පොලිසියට ඇය අතුරුදහන් බවට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවයි.
දිනක් දෙකක් ගත වුණත් මුන්තාස් ගැන කිසිම තොරතුරක් නොලැබෙන අතර එයින් දැඩි ලෙස කම්පාවට පත්වන සැමියා හා දරු දෙදෙනා ඇය සොයා ගැනීමට නොයෙක් උත්සාහ දැරුවා. මේ අතර මේ මස 5 වැනිදා උදේ සපුගස්කන්ද පොලිසියට පැමිණි කිහිප දෙනෙකු පැවසුවේ මාබිම පාරේ කසළ ගොඩක විශාල බෑගයක දැමූ නරක් වූ කාන්තා මළසිරුරක් ඇති බවයි. ඒ ස්ථානය අසළින් ආ මිනී කුණු ගඳ කුමක් දැයි එක්ව සෝදිසි කර අනතුරුව පොලිසිය විමර්ශන ඇරඹුවා.
මෙම නාඳුනන සිරුර ගැන කොළඹ හා අවට පොලිස් ස්ථානවලට දැනුම් දෙන අතර මුන්තාස්ගේ සැමියා මෝචරියට ගොස් මෙම සිරුර හඳුනා ගන්නේ තමන්ගේ අතුරුදහන් වූ බිරිය බව පවසමිනුයි. මුන්තාස් එදා ගියේ ෆාතිමා හමුවන්නයි. ඒ නිසා විමර්ශන කණ්ඩායම එහි ගියත් ඇය එම නිවසින් අතුරුදහන් ව සිටියා. ඇය සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළ අතර ඇය සිය දරු පවුල සමඟ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජීවත් වන බව දැනගන්න ලැබුණා.
ඒ අනුව එහි යන පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. ප්‍රශ්න කිරීමේදී ඇය පැවසුවේ ඇය තමන් හමුවට ත්‍රීරෝද රියකින් ආවත් ඉන්පසු සිදුවූ දේ නොදන්නා බවයි. කෙසේ වෙතත් දිගින් දිගටම බොරු කියන්නට ඇයට හැකියාව ලැබුණේ නැහැ. අවසානයේ ඇය ෆාතිමාට ඇත්ත කියන්නට පටන් ගත්තා. ෆාතිමා සහ මුන්තාස් හොඳම මිතුරියන්. මුන්තාස් සූදු ක්‍රීඩාවේ යෙදෙන හා යොදවන අතර ඊට අමතරව සින්න වෙන්න යන රන්බඩු බේරා දීමේ ව්‍යාපාරයක ද නිරත වනවා.
ඒ හේතුවෙන් ඇය අතේ නිතර මුදල් ගැවසුණා. ෆාතිමා මේ බව දැන සිටියා. හදිසි මුදල් අවශ්‍යතාවයකට ෆාතිමා දන්න හඳුනන කාන්තාවකගෙන් මුදල් ඉල්ලා තිබූ අතර ඒ වෙනුවට ඇයට ලැබී තිබුණේ කාන්තාවගේ රන් අභරණ කිහිපයක්. ඒ විශ්වාසය නිසාත් හැකි ඉක්මණින් බේරා දෙන පොරොන්දුව නිසයි. කෙසේ වෙතත් කියූ වේලාවට ඒ රන්බඩු බේරා දීමට ෆාතිමාට හැකි වූයේ නැහැ. එහෙයින් ඇය මුන්තාස්ගේ පිහිට පැතුවා. එම රන්බඩු බේරාගන්නට මුන්තාස් කැමතිවුණා. නමුත් බේරාගත් බඩු මුදල් ලැබෙන කම් ෆාතිමාට නොදී ඉන්නත් ඇය වග බලා ගත්තා.
මේ අතර එම රන්බඩුවල හිමිකාරිය ඒවා ඉල්ලා ෆාතිමාට වද දෙන්න ගත්තා. ඒවා දෙන ලෙස ෆාතිමා මුන්තාස්ගෙන් ඉල්ලා සිටියත් ඇය ඊට එකඟ වූයේ නැහැ. ඇය තරයේම පවසා සිටියේ එම රන්බඩු අවශ්‍ය නම් මුදල් දී රැගෙන යන ලෙසයි. එලෙස කී මුන්තාස් එම රන් ආභරණ සිරුරේ පැළඳගත්තා. සිද්ධිය වූ දින නිවසින් පිටවන මුන්තාස් කෙළින්ම යන්නේ ෆාතිමාගේ නිවසටයි. ඒ ඇයගේ මල්ලිගේ රන්බඩු වගයක් බේරා දෙන ලෙස කළ ඉල්ලීම අනුවයි. ඒ වෙනුවෙන් ඇය රුපියල් ලක්ෂයක මුදලක් ද රැගෙන ගියා.
"එයා ගෙට එද්දි මමයි මගේ මල්ලියි ගෙදර හිටියේ. අපි එයාගෙන් සල්ලි ඉල්ලලා ගැහුවා. ඔලුවට මෝල් ගහෙන් ගහලා කරේ දාගෙන හිටපු සෝල් එකෙන් අපි දෙන්නා දෙපැත්තට ඇද්දා. ඒ වෙලාවේ මුන්තාස් මැරුණා.." "එයා අපේ ගෙදර ආවෙත් මම කියවලා බේරගත්ත රත්තරන් බඩුත් දාගෙන.. අපි ඒවා ගළව ගත්තා. එයා ළඟ තිබුණ සල්ලිත් අරගෙන මිනිය පැත්තකට දාලා තිව්වා..." "අර රත්තරන් බඩු ටික අරගෙන ගිහින් අයිතිකාරිට දුන්නා.
අනිත් රත්තරන් බඩු හෙට්ටිවීදියට විකුණලා සල්ලි ගත්තා. මේ දේවල් කළේ මම යි මගේ මල්ලියි එකතු වෙලා..." "ඒ වෙලාවේ මගේ මිනිහා හිටියේ නෑ. එයා ආවට පස්සෙ සිද්ධීය කිව්වා. ඊට පස්සෙ මුන්තාස්ගේ මිනීය ගෙදර තිබුණ පරණ බෑග් එකකට දාලා කොහේ හරි ගිහින් දාන්න ප්ලෑන් කළා.." ඇය එලෙස සියල්ල හෙළි කළා. ඔවුන් මේ බෑගය තවත් බඩුමුට්ටුද සමඟ ලොරියකට පටවා තිබුණා. ෆාතිමාගේ සැමියා මේ ඝාතනයට සහය නොදුන්නටත් ඉන් අනතුරුව කළ හැමදේටම ඔහුගෙන් නොමඳ සහයක් ලැබුණා.
මෙලෙස ලොරියට පටවාගත් සිරුර රැගෙන යන අතරේ ෆාතිමාගේ මල්ලි ඒ පිටුපස ත්රීවිලයකින් පැමිණියා. අතරමඟදී පැදුරක සිරුර එතීමෙන් අනතුරුව මොවුන් කුණුගොඩට සිරුර මුදා හැරියා. ඒවා කසළ ගොඩකට දමාවි යැයි ඔවුන් අනුමාන කරන්නට ඇති. එහෙත් එම බෑගයත් කුණු ගොඩත් දින තුන හතරක් යන තෙක්ම රැගෙන නොගිය අතර ඒ අසළින් ගිය අයගේ අවධානය ඒ දෙසට යොමු වූයේ හමා ආ මිනී කුණු ගඳ නිසයි.
සියල්ල හෙළි වූයේ ඉන් අනතුරුවයි. මුන්තාස් පැළඳ සිටි රන්මාලයක්, කරාබු, මුද්දක් උගස් කර තිබූ අතර ඒවා උණුකර ගුලියක් ලෙස සාදා තිබුණා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකනු වන තව්ෂාඩ් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙක්.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.(උපුටා ගැනීමක්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
