'' ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි '' සජිත් කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය වන බවයි.
සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සහ රාජ්‍ය පාලන දැනුම තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් පක්ෂ මූලස්ථානයේදී පැවති වැඩමුළුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර තිබේ.
තව දුරටත් විපක්ෂ නායකවරයා  පළකලේ මෙවන් අදහසක්
“මහජන නියෝජිතයන්ට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සිදුව ඇත්තේ අනතුරුදායක පරිසරයක. දිනපතාම වෙඩි පත්තුවෙන යුගයක් අද රටේ නිර්මාණය වී, ම්ලේච්ඡයන්, මිනීමරුවන්, කුඩු කල්ලි, පාතාල කල්ලි සමාජයේ පාලනය අතට ගෙන සිටිනවා. ඔවුන් කියන දේ නොකළොත් මරණ තැනට නීතියේ ආධිපත්‍ය බිඳ වැටී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවා දුර්වල වී ප්රජාතන්ත්රවාදයට මරු පහර එල්ල වෙලා තිබෙනවා.මෙයට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි දුර්වල රාජ්‍ය පාලනයයි.
නීතියේ ආධිපත්‍ය සෑම අතින්ම ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. පසුගිය කාලයේ වත්මන් රජයේ දේශපාලන බලය මරණාධාර සමිතිය, යෞවන සමාජය, සිවිල් ආරක්ෂක කමිටු දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. එවන් ආණ්ඩුවට රටේ සාමය ස්ථාපිත කරන්න නොහැකි වෙලා.බොරු පොරොන්දු දී ජනතාව අනාථ කර සැණකෙළි හා සන්දර්ශන දේශපාලනයේ නියැළී තාවකාලික ජනප්‍රියත්වයක් නඩත්තු කරනවා. මේ මහජන නියෝජිතයන්ට පරිණත ජනතා සේවාවක් කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. එදා විපක්ෂයේ සිටින විට වත්මන් රජයේ මැති – ඇමැතිවරුන් ජාතික ආරක්ෂාව ගැන පන්ති පවත්වන්න යෝජනා කළත් අද ඔවුන්ට මේ ඝාතන රැල්ල නැවැත්වීමට නොහැකි වී තිබෙනවා.”