ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි - පුතුන්ගෙන් දැඩි චෝදනා
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම 1992 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් පාකිස්ථාන කණ්ඩායමේ නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බන්ධනාගාරය තුළ සීඝ්රයෙන් පිරිහෙමින් පවතින බව ඔහුගේ පුතුන් වන කාසිම් සහ සුලෙයිමාන් ඛාන් පවසති.
ඔස්ට්‍රේලියාවේ ABC නාලිකාව සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, පසුගිය මාස හයක පමණ කාලයක සිට සිය පියා සමඟ දුරකථනයෙන් පවා සන්නිවේදනය කිරීමට තමන්ට අවස්ථාවක් හිමි නොවූ බවයි.
පසුගියදා ඉම්රාන් ඛාන් මහතා හමුවීමට අවස්ථාව ලැබුණු පවුලේ සමීපතම සාමාජිකයෙකුගේ තොරතුරුවලට අනුව, ඔහු අධි රුධිර පීඩනය, අසාමාන්‍ය හෘද ස්පන්දන තත්ත්වයන් සහ දැඩි මානසික පීඩනයෙන් පෙළෙන බව පුතුන් අනාවරණය කරයි.
ඉම්රාන් ඛාන් දැනට රඳවා සිටින්නේ කුඩා, අඳුරු මෙන්ම දැඩි උණුසුමක් සහිත සිර මැදිරියක බවත්, ඔහුට එළිමහනට පැමිණීමට මෙන්ම පොත්පත් සහ කියවීමේ ද්‍රව්‍ය ලබාගැනීමට පවා දැඩි සීමා පනවා ඇති බවත් ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
ඉම්රාන් ඛාන් මහතාව ස්වාධීන වෛද්‍යවරුන්ගේ විශේෂ පරීක්ෂාවකට යොමුකරන ලෙස පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියෝග කර තිබුණද, බන්ධනාගාර බලධාරීන් එය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ද පවුලේ සාමාජිකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, එල්ල වන මෙම චෝදනා පාකිස්ථාන රජය විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලබයි.
ඉම්රාන් ඛාන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, ඔහුට ඥාතීන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් රජයේ පාර්ශ්වයන් ප්‍රකාශ කරයි.
මේ අතර, හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් ඇතුළු ලොව පුරා ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රකට පුද්ගලයින් රැසක් ඉම්රාන් ඛාන් වෙත නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය බන්ධනාගාර පහසුකම් ලබාදෙන ලෙස පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටිති.
වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිරගත කර සිටියද, ඉම්රාන් ඛාන් තවමත් පාකිස්ථාන දේශපාලනය තුළ අතිශය ප්‍රබල සහ තීරණාත්මක බලවේගයක් ලෙස පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.