හොරණ රාජ්‍ය බැංකුවේ අත්අඩංගුවට ගත් සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු රැසක් හෙළි වේ
හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක අතිවිශාල මුදලක් සූක්ෂ්ම ලෙස අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු සමඟ සමීප මූල්‍ය ගනුදෙනු පවත්වා ඇති නල්ලුරුව මෝදරවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සහකාර කළමනාකරු මීට පෙර නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි එම රාජ්‍ය බැංකුවේම වෙනත් ශාඛාවක සේවය කර ඇති අතර, එහිදී හඳුනාගත් පොලියට මුදල් ලබාදීමේ ජාවාරමක නිරත කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පෞද්ගලිකව ලබාගෙන ඇති බවයි.
එම ණය මුදල වෙනුවෙන් පමණක් ඔහු විසින් අධික පොලිය ද සමඟින් රුපියල් ලක්ෂ 72ක මුදලක් අදාළ කාන්තාව වෙත ගෙවා ඇති බවත්, පසුව ඔහු වරින් වර රුපියල් ලක්ෂ දහය බැගින් තවත් විශාල මුදල් ප්‍රමාණයක් ඇයගෙන් ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.
බැංකුවේ රුපියල් කෝටි තුනහමාරක මුදල අතුරුදන් වීමේ මහා පරිමාණ සිද්ධිය සිදු වූ දිනට පෙර දින, පොලියට ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 37ක මුදලක් වහාම ආපසු ලබාදෙන ලෙස බල කරමින් අදාළ කාන්තාව විසින් සැකකාර සහකාර කළමනාකරු වෙත ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මඟින් දැඩි ලෙස ඉල්ලීම් කර තිබූ බව ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
තවද මෙම සැකකරු විසින් නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකගෙන් සහ ඉතාලියේ සිට මෑතකදී මෙරටට පැමිණි කාන්තාවකගෙන් ද රුපියල් ලක්ෂ විසිපහ බැගින් මුදල් ලබාගෙන ඇති අතර, ප්‍රදේශයේ තවත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 37ක මුදලක් ලබාගෙන ඇති බව ද මූලික විමර්ශනවලදී හෙළි විය.
මෙලෙස ලබාගත් විවිධ ණය මුදල් සහ ඒවායේ පොලී මුදල් වහාම ආපසු ලබාදෙන ලෙස විවිධ පාර්ශ්වයන් විසින් ඔහු වෙත දිගින් දිගටම දැඩි බලපෑම් සහ තර්ජන එල්ල කර තිබූ බව ද පොලිසිය පවසයි.
මේ අතර, අදාළ බැංකු මුදල් අතුරුදන් වූ දිනට පසු දිනම සැකකාර සහකාර කළමනාකරු වෙනත් බැංකු ශාඛාවකට ස්ථාන මාරුවක් ලබා යාමට සියලු කටයුතු සූදානම් කරගෙන සිට ඇති බව ද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාගේ සෘජු උපදෙස් මත විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ කාන්තාවන් දෙදෙනා කැඳවා මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.