ට්‍රම්ප්ට අතට අත නොදුන් ආර්ජන්ටිනා ක්‍රීඩක රොමේරෝ ගැන ලෝකයේම අවධානයට [VIDEO}
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන් පසු පැවති පදක්කම් ප්රදානෝත්සවයේදී, ආර්ජන්ටිනා මැද ආරක්ෂක ක්‍රීඩක ක්‍රිස්ටියන් රොමේරෝ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතට අත නොදීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
නිව් ජර්සි ප්‍රාන්තයේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී, අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ෆෙරාන් ටොරස් ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය 1-0ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කරමින් සිය ඉතිහාසයේ දෙවැනි ලෝක කුසලාන ශූරතාව දිනාගත්තේය.
තරගයේ ආර්ජන්ටිනා ආරක්ෂක පෙළේ ක්‍රීඩා කළ රොමේරෝ, ආබාධයක් හේතුවෙන් 70 වැනි මිනිත්තුවේදී පිටියෙන් ඉවත් කෙරිණි.
කෙසේ වෙතත්, තරගයෙන් පසුව පැවති පදක්කම් ප්රදානෝත්සවයේදී ඔහුගේ ක්‍රියාව විශේෂ අවධානයට ලක්විය.
පදක්කම් ප්රදානය සඳහා එක්ව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්, FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සහ මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බාම් අතරින් රොමේරෝ, ඉන්ෆන්ටිනෝ සහ ෂෙයින්බාම් සමඟ අතට අත දුන් නමුත් ට්‍රම්ප් සමඟ අතට අත නොදුන් අයුරු රූපවාහිනී දර්ශනවලින් දැකගත හැකි විය.
අවසන් තරගයෙන් අනතුරුව කුසලානය ස්පාඤ්ඤයට ප්රදානය කිරීමේ අවස්ථාවේදී ද ට්‍රම්ප් කණ්ඩායම සමඟ ඡායාරූපයට එක්වීමට උත්සාහ කළ අතර, FIFA සභාපති ඉන්ෆන්ටිනෝ විසින් ඔහු එම ස්ථානයෙන් මඳක් ඉවත් කිරීමට උත්සාහ කරන ආකාරයද කැමරා කාචවල සටහන් විය.
මේ අතර, තරගය අතරතුර සහ ත්‍යාග ප්රදානෝත්සවයේදී ට්‍රම්ප් පිටියට පැමිණි අවස්ථාවේදී ප්රේක්ෂකයන්ගෙන් හූ හඬ සහ විරෝධතා ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2022 කටාර් ලෝක කුසලානය ජයගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ රොමේරෝ මෙවරද අවසන් තරගයට එක්වුවද, ශූරතාව රැක ගැනීමට ආර්ජන්ටිනාවට නොහැකි විය.