ප්‍රධාන පාරක් භාවිතා කරන අයට දැනුම් දීමක්
කොල්ලුපිටිය, උත්තරානන්ද මාවතේ රථ වාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, තාවකාලික මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් හෙට (19) උදෑසන 6.00 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව රොටුන්ඩා මංසන්ධියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දුල් මාකන් මාකර් මාවත දෙසට පමණක් බව පොලීසිය සඳහන් කළේය. කිසිදු හේතුවක් මත අබ්දුල් මාකන් මාකර් මාවතෙන් රථ වාහන උත්තරානන්ද මාවතට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැත.
සර් ජේම්ස් පීරිස් මාවත මාර්ගයෙන් පෙරහැර මාවතට ඇතුළු වන වාහන රොටුන්ඩා වට රවුම දෙසට ගමන් කළ නොහැකි අතර, උත්තරානන්ද මාවතෙන් දකුණට ගමන් කොට අබ්දුල් මාකන් මාකර් මාවතට පිවිසීමට හැකිය. තවද ගාලුපාර සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන රොටුන්ඩා මාර්ගයේ වාහන ගමන් කළ හැක්කේ ගාලු පාරේ රොටුන්ඩා වටරවුම දක්වා එක් දිශාවකට පමණි.
උත්තරානන්ද මාවතට ඇතුළු වන රියදුරන්ට ගාලු පාර, නවම් මාවත සහ පෙරහැර මාවත භාවිත කළ හැකි අතර රොටුන්ඩා මාවතට ඇතුළු වීමට ගාලුපාර භාවිත කළ හැකිය.
