ශ්‍රී ලංකාවේ ළමා හිංසන සහ රිෂාඩ් බදියුදීන්: මරණයට පත් මෙහෙකාර දැරිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැන සියල්ල

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 23, 2021 04:48 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි

දැරිය කෘරත්වයට භාජනය වී ඇති බවත් ඇය කොළඹට රැගෙන ගොස් මෙහෙකාර සේවයේ යෙදවීම මගින් "තැනැත්තන් වෙළඳාම" නමැති වරද සිදු සිදුව ඇති බවත් මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සිකුරාදා (ජුලි 23) කියා සිටියේය.

පහත දැක්වෙන්නේ අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් හෙළි කරන ලද කරුණුවල කෙටි විමසුමකි.

මෙතෙක් අත්අඩංගුවට පත් පුද්ගලයන් කවුද?

ඉහත කී වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් අතර:
  • රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ශෙයාබ්දීන් අයේෂා
  • ඇයගේ පියා මොහොමඩ් ශෙයාබ්දීන් දැරිය
  • කොළඹට රැගෙන ආ තැරව්කරු පොන්නයියා පන්ඩාරම් නොහොත් ශංකර් යන අය වෙති.

ඔවුන් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ප්‍රතිපාදන යටතේ පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

චෝදනා මොනවාද?

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව සැකකරුවන්:

  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඈ) වගන්තියේ සඳහන් තැනැත්තන් වෙළඳාම
  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308 (ආ) වගන්තියේ සඳහන් කෘරත්වයට භාජනය කිරීම

යන චෝදනා යටතේ වැරදි සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

පරීක්ෂණ පවත්වනු ලැබුවේ කවුද?

  • බොරැල්ල පොලිසිය
  • කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය කොළඹ
  • දකුණ ළමා හා කාන්තා කාර්යාංශය

ඉහත කී අංශ විසින් පවත්වන ලද පරීක්ෂණ මගින් ප්‍රකාශ 20 ආසන්න සංඛ්‍යාවක් සටහන් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙතක් සිදු කරන ලද පරීක්ෂණ සඳහා : 

  •  පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු
  • පරිවේශනීය සාක්ෂි
  • විද්‍යාත්මක සාක්ෂි
  • තාක්ෂණික සාක්ෂි
  • බැංකු වාර්තා

ආදිය උපයෝගී කර ගනු ලැබ ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය

පසුබිම

බදියුදීන් හිටපු ඇමතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි, හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉශාලිනී නමැති දැරිය පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ ජුලි 03 වෙනිදාය.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ජුලි 15 වෙනිදා මරණයට පත් විය. මිය ගිය දැරිය මීට ඉහතදීත් වෙනත් ස්ථානවල මෙහෙකාර සේවයේ යෙදී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇය අපයෝජනයට ලක්ව ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් ප්‍රකාශයට පත්ව නොමැත. 

දැරියගේ මරණය හෝ ඇය මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතින බවට පසුගිය දින කිහිපය පුරා සමාජයෙන් දැඩි චෝදනාවක් එල්ල විය. 

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ ඇති රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනු ලැබ සිටී. අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු පාස්කු ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරයි. 

තමන් රඳවාගනු ලැබීමට එරෙහිව බදියුදීන් මන්ත්‍රීවරයා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට ඇතත්, එය විභාගයට අදාළ විනිසුරන් සිව් දෙනෙකු මේ දක්වා විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව තිබේ. 

 මේ අතර රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (All Ceylon Makkal Congress) සෙසු මන්ත්‍රීවරු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී මෙන්ම ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විරුද්ධ පක්ෂය පසුගියදා ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදීත් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.


බීබීසී සිංහල