කීරී සම්බා ඇතුළු සහල් පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්
මේ වනවිට කීරි සම්බා ඇතුළු ඇතැම් සහල් වර්ග වෙළෙඳපොළේ පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි වන බවත්, ඇතැම් අවස්ථාවලදී මිලදී ගැනීමට පවා නොමැති තත්ත්වයක් උදාවී ඇති බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම කෘත්‍රිම හිඟය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට රජයට තීරණය කිරීමට සිදුවිය හැකි බවයි.
විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා සහල් වර්ග සඳහා පනවා ඇති පාලන මිල ඉක්මවා යමින් පාරිභෝගිකයන් සූරාකෑමට ඇතැම් වෙළෙඳුන් කටයුතු කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව දේශීය සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් වුවද, ඇතැම් මහා පරිමාණ මෝල් හිමියන් සහ අතරමැදියන් සහල් තොග සඟවා තබා ගැනීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවට ද සඳහන්.
පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය මැදිහත් වී අවශ්‍ය වුවහොත් සහල් ආනයනය කර වෙළෙඳපොළට මුදා හැරීමට සූදානම් බව කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.