අධ්‍යාපන හා කුසලතා සංවර්ධනයට ශ්‍රී ලංකා–පිලිපීන නව හවුල්කාරිත්වයක්

Report

2026 මාර්තු 09-11 දිනවල පිලිපීනයේ සිදු කළ නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රධාන පිලිපීන ආයතන සමඟ රැස්වීම් මාලාවක් පැවැත්වූ අතර, එහිදී අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

ඊයේ (09) පිලිපීන අධ්‍යාපන ලේකම් සොනී අංගාරා මහතා සමඟ පැවති සාකච්ඡාවේදී අධ්‍යාපන ප්‍රතිපත්තිවල හොඳම භාවිතයන් බෙදා ගැනීම, ගුරු පුහුණුව, විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ඉගෙනුම් මුලපිරීම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡා සිදු විය.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විෂයමාලා නවීකරණය සහ තාක්ෂණය ඉගෙනුම් ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය පිලිපීන පාර්ශ්වය දැනුම් දුන්හ.

එසේම, පිලිපීන උසස් අධ්‍යාපන කොමිසමේ සභාපති ආචාර්ය ෂර්ලි සී. අග්‍රුපිස් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස සමඟ පැවති හමුවීමේදී පර්යේෂණ සහයෝගීතාව, විශ්වවිද්‍යාල අතර අධ්‍යයන හවුල්කාරිත්වය, ශිෂ්‍ය හා පීඨ හුවමාරු වැඩසටහන් සහ තත්ත්ව සහතික රාමු ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡා කේන්ද්‍රගත විය.

වෙනම රැස්වීමකදී තාක්ෂණික අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අධිකාරියේ ලේකම් හා අධ්‍යක්ෂ ජනරාල් ජෝස් ෆ්‍රැන්සිස්කෝ බී. බෙනිටෙස් මහතා සමඟ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, දැනුම බෙදා ගැනීම, ආයතනික හවුල්කාරිත්වයන්, කුසලතා හඳුනා ගැනීම සහ ශ්‍රම බලකායේ සංචලතාව වැඩිදියුණු කිරීම සඳහා සුදුසුකම් රාමු පෙළගැස්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළාය.

මෙම රැස්වීම් හරහා තිරසාර සංවර්ධනය හා මානව ප්‍රාග්ධන වර්ධනයට සහාය වීම සඳහා අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටම දක්වන කැපවීම යළිත් තහවුරු වූ බව අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා දූත පිරිසට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා සහ අග්‍රාමාත්‍යවරියගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එච්. පියුමි බණ්ඩාර මහත්මිය ඇතුළත් වූහ.

ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පනයක්

ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පනයක්

ඇමරිකාවෙන් කැත විහිළුවක් - ඉරානේ නැව් ගිල්වද්දී හරිම විනෝදයිලු - නැව් 46ක් මුහුදුබත් කරමින් විහිළු කරයි

ඇමරිකාවෙන් කැත විහිළුවක් - ඉරානේ නැව් ගිල්වද්දී හරිම විනෝදයිලු - නැව් 46ක් මුහුදුබත් කරමින් විහිළු කරයි