නලින් බණ්ඩාරගේ රුපියල් මිලියන 380 කතාව RDA ප්‍රතික්ෂේප කරයි
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසන්නේ, තම ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට සිදුකර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
මෙම චෝදනා ඉදිරිපත් කර තිබුණේ නලින් බණ්ඩාර මහතා විසිනි. ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, 2023 වසරේදී RDA විසින් ගෙවීම් කළ කොන්ත්‍රාත්කරුවන්ට නැවතත් වැරදීමකින් රුපියල් මිලියන 380ක් පමණ ගෙවා ඇති බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් RDA නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශයක් බවයි.
අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ප්‍රකාශය පදනම් විරහිත සහ සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
නිල ප්‍රකාශය - මාර්ග සංර්වධන අධිකාරිය (RDA)
කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් කල බවට සමාජ මාධ්‍ය වේදිකාවල දැනට සංසරණය වෙමින් පවතින, ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ කරන ලද අසත්‍ය සහ නොමඟ යවන චෝදනා මාර්ග සංර්වධන අධිකාරිය (RDA) තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇත.
කිසිදු ද්විත්ව ගෙවීමක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති බවට වන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරිට අයත් ගිණුම් වලින් එවැනි ද්විත්ව ගෙවීමක් සිදු කර නොමැති බවත්, මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු මූල්‍ය අලාභයක් සිදුවී නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය තහවුරු කරයි.
මෙම කාරණයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට වන කාරනය සමග මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නොමඟ යවන, වගකීම් විරහිත සහ පදනම් විරහිත ය. ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශ ද්වේශ සහගත සහ සත්‍ය පදනමකින් තොරව කරන ලද බවට මාර්ග සංවර්ධන අධිකාරිය සලකයි. මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මෙම කරුණ සමාලෝචනය කරමින් සිටින අතර මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටිති.
සත්‍යාපනය නොකළ තොරතුරු පැතිරීම රාජ්‍ය ආයතනවල කීර්ති නාමයට හානි කරන අතර මහජනතාව නොමඟ යවන බැවින්, එවැනි අන්තර්ගතයන් බෙදා ගැනීමට පෙර වගකීමෙන් කරුණු සත්‍යාපනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතන වලින් කාරුනිකව ඉල්ලා සිටී.
මාර්ග සංවර්ධන අධිකාරිය හි සියලුම මෙහෙයුම් වලදී විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කැපවී සිටී.
මාර්ග සංර්වධන අධිකාරියේ කළමනාකාරීත්වය