කුසගිනි නොදැනෙන ධනපතියාටත් දුක – වේදනාව ගැන කියාදෙන රාමලාන් නෝම්බි
මාර්තු මාසයේ පළවැනි සතියෙන් ආරම්භ වී, මෙම මස 31 හෝ ඊළඟ මස 01වැනිදායින් අවසන් වන චන්ද්‍ර මාසය සමග මුස්ලිම්වරුන්ගේ ආගමික දින දර්ශනයේ රමලාන් සමය අවසන් වනු ඇත. රමලාන් මාසයේ මුස්ලිම්වරු නෝම්බි අල්ලති.
විශ්වාසවන්තයිනි, ඔබට පෙර සිටි භක්තිකයන්ට මෙන්ම ඔබටත් උපවාසය අනිවාර්ය කර ඇත. එයට හේතුව ඔබ භක්තිමත් විය යුතු බැවිනි.
දේව භක්තිය මුස්ලිම් භක්තිකයන් තුළ ඇති කිරීමේ ප්‍රධාන ඉලක්කය මුල් කරගෙන, අල්ලා දෙවියන් වෙනුවෙන් උපවාස කාලය ආරම්භ කළ යුත්තේ කුමක් සම්බන්ධයෙන් ද යන්න අල්කුරාණයේ මෙසේ සඳහන් වේ.
වසරක තෝරාගත් මාසයක් පුරා අල්ලා දෙවියන්ගේ ආඥාවට අවනතව උපවාසයේ යෙදෙන මුස්ලිම් භක්තිකයන්ට ගෞරවයක් ලෙස රාමලාන් උත්සවය සමරනු ලැබේ.
උපවාස කාලය පටන් ගත් මොහොතේ සිට අවසන් වන තුරු මුස්ලිම් ජනතාව දේව භක්තියෙන් පසුවන අතර, අල්ලා දෙවියන්ට ගරු කිරීමක් වශයෙන් තම දෛනික ආශාවන් පවා පාලනය කරමින් සිටීමට ඔවුන් පුරුදු වී ඇත. දිවා කාලයේදී ආහාර හා පාන වර්ගවලින් ඈත්ව සිටිති. රසවත් පාන වර්ග හෝ ශරීරයට අවශ්‍යතා තිබුණත්, ඒවා මැඩපවත්වා, මුළු කාලයම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරති.
රාමලාන් උත්සවය හෙවත් නෝම්බි දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මුස්ලිම් භක්තිකයන් තුළ ආගමික ගෞරවය, සාමය, සතුට සහ අන්‍යයන්ට උපකාර කිරීමේ උතුම් ගුණාංග ඇති කිරීමෙන් ඔවුන්ගේ ආත්මය පෝෂණය කිරීමයි.
උපවාස මාසය තෝරා ගැනීමට මූලික හේතුව වන්නේ, මුස්ලිම් භක්තිකයන්ගේ ශුද්ධ ධර්ම ග්‍රන්ථය වන “අල්කුරාණය” මෙම මාසයේදී බිහි වූ බවට ඇති විශ්වාසයයි. ඉස්ලාම් ආගමට අනුව, දේව භක්තිය සඳහා කාලය, දින, මාස තීරණය කරනු ලබන්නේ “සඳ” බැලීම මතයි. රාමලාන් මාසය ආරම්භ වන්නේ සඳ දුටු දිනට පසු දිනයේ සිට වන අතර, දින තිහක උපවාස කාලය අවසානයේ නව සඳ දැකීමෙන් එය නිමා කරයි.
උපවාස මාසය තුළ මුස්ලිම් භක්තිකයන් විසින් ඉටු කළ යුතු තවත් උතුම් කාර්යයක් වන්නේ “දුගී බද්ද” ගෙවීමයි. මෙය රජයේ බදු අය කිරීමක් මෙන් බලහත්කාරයෙන් එකතු නොකරන අතර, සෑම භක්තිකයකුම තම ආදායමෙන් සියයට 2.5ක ප්‍රමාණයක් දුප්පතුන්ට, යාචකයන්ට පරිත්‍යාග කළ යුතුය. මෙය දුප්පත්-පොහොසත් භේදයකින් තොරව දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් ලෙස අල්කුරාණයේ දැක්වේ.
මුස්ලිම් ආගමට අනුව, සෑම භක්තිකයකුම ආත්මාර්ථකාමී බවින් තොරව, පිරිසිදු හා පවිත්‍ර මනසකින් යුතුව ජීවත් විය යුතු යැයි විශ්වාස කෙරේ. මෙම තත්ත්වය ඇති කිරීමට ආගම ඔස්සේ මනස සකස් කළ යුතුය. “සෑම විටම දෙවියන් වහන්සේ මා ආරක්ෂා කරනවා, මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනවා” යැයි සිතමින්, හැකිතාක් වැරදිවලින් ඈත්ව සිටීමට ආගම මගින් මඟ පෙන්වා ඇත.
දේව භක්තිය ඇති පුද්ගලයකු කිසි විටෙක අන් අයට කිසිදු වැරැද්දක් නොකරන බවත් විශ්වාස කෙරේ.
සෑම මුස්ලිම් භක්තිකයකුම දිනකට පස් වතාවක් දෙවියන් වහන්සේට වැඳුම් පිදුම් කළ යුතුය. උපවාස කාලයේදී ද මෙම චාරිත්‍රය අනුගමනය කළ යුතු අතර, රාත්‍රී කාලයේදී වැඩි වේලාවක් ආගමික වතාවත්වලට කැප කිරීමට මුස්ලිම් භක්තිකයන් පුරුදු වී සිටිති.
සංස්කෘතික ලක්ෂණ සම්බන්ධයෙන් සැලකීමේදී, මුස්ලිම් භක්තිකයන් කුමන රටක, කුමන සමාජ තත්ත්වයක සිටියත්, දෙවියන් වහන්සේගේ දේව කැමැත්තට අනුකූලව කටයුතු කළ යුතුය.
මෙය පහත කරුණු පහ යටතේ පෙන්වා දී ඇත:
- ඉස්ලාම් දෙවියන් පිළිගෙන, එය වාචිකව ප්‍රකාශ කර ගිවිසුමක් ඇති කර ගැනීම.
- දිනකට පස් වතාවක් දෙවියන්ට වන්දනා කිරීම.
- වසරක ආදායමෙන් සියයට 2.5ක් “දුගී බද්ද” ලෙස දුප්පතුන්ට පරිත්‍යාග කිරීම.
- උපවාස මාසයේදී උපවාසයේ යෙදීම.
- ජීවිත කාලයේ එක් වරක්වත්, හැකියාව ඇති අය සෞදි අරාබියට ගොස් හජ් වන්දනාවේ යෙදීම.
මේ අනුව, මුස්ලිම් භක්තිකයන් අනුගමනය කරන ආගමික චාරිත්‍රවලට සංස්කෘතික වටිනාකමකට වඩා ආගමික වටිනාකමක් ඇත.

මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා.. ඒක ලේසි නෑ. පාස්කු ප‍්‍රහාරයට හදිස්සියේම යුක්තිය ඉටු කරන්න බෑ - රජය කියයි
රාමලාන් උපවාසය සෑම මුස්ලිම් භක්තිකයකුටම අනිවාර්ය වන අතර, එසේ නොකරන භක්තිකයන්ට ඉස්ලාමීය රජයක් පවතින රටකදී කස පහර දක්වා දඬුවම් හිමි විය හැකිය.
ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති වුවත්, උපවාසයේ නොයෙදෙන අයට විනාශය ළඟා වන බව ඉස්ලාම් ආගමේ සඳහන් වේ. උපවාසය සෑම භක්තිකයකුටම අනිවාර්ය වුවත්, එයට නොහැකි අයට ඉන් ඉවත්ව සිටිය හැකිය. අල්කුරාණයට අනුව, කිලෝමීටර් 89කට වඩා දුර ගමන් කරන මගියෙකුට උපවාසයෙන් වැළකී සිටීමට අවසර ඇත.
මෙවැනි අයට උපවාස මාසයෙන් පසු වෙනත් මාසයකදී උපවාසයේ යෙදිය හැකිය.
යම් හේතුවකින් උපවාස කාලයේ දිනයක් හෝ බිඳුණහොත්, එම පාපයෙන් මිදීමට තම රටේ ප්‍රධාන ආහාරයෙන් ග්‍රෑම් 750ක් දුප්පතකුට පරිත්‍යාග කළ යුතුය. රාමලාන් උපවාසයෙන් මනුෂ්‍ය ජීවිතයට ලැබෙන යහපත ගැනද සැලකිල්ලට ගත යුතුය. එහි ප්‍රධානම කාරණය වන්නේ, ජීවිතයේ කිසිදා බඩගින්න නොදැනි ධනවතකුට පවා අන්‍යයන්ට දැනෙන දුක හා වේදනාව අවබෝධ කර ගැනීමට හැකි වීමයි.
නෝම්බි උපවාසයේ අවසාන චාරිත්‍ර රටින් රටට වෙනස් විය හැකිය. බොහෝ රටවල මුස්ලිම් භක්තිකයන් දෛනික උපවාසය අවසන් කරන්නේ “රටඉඳි” ආහාරයට ගැනීමෙනි.
මෙම කාලයේදී විදෙස් රටවලින් රටඉඳි ගෙන්වීමට රජයෙන් සහන සපයා ඇති අතර, විදෙස් මුස්ලිම් භක්තිකයන් තෑගි වශයෙන් රටඉඳි මෙරටට එවයි.
රටඉඳි ආහාරයෙන් උපවාසය අවසන් කිරීමට මුස්ලිම් භක්තිකයන් යොමු වන්නේ, නබිතුමා උපවාසය අවසන් කිරීමට රටඉඳි ගත් බැවිනි. උදෑසන උපවාසයට පෙර, තම රටේ ප්‍රධාන ආහාරයෙන් කුස පුරවා ගනිමින් ආගමික වතාවත් ආරම්භ කරති.
රාමලාන් උත්සව දිනයේදී, ආගමේ සඳහන් පරිදි, මාසයක් පුරා උපවාසයේ යෙදීම දෙවියන් වහන්සේ පිළිගන්නේ නම්, උදෑසන පල්ලියට යෑමට පෙර සහල් කිලෝග්‍රෑම් 2.5ක් දුප්පතකුට පරිත්‍යාග කිරීම සෑම තරාතිරමකම මුස්ලිම් භක්තිකයකුගේ යුතුකමකි.
මෙම චාරිත්‍රය සෑම භක්තිකයකුම ඉටු කළ යුතු අතර, රාමලාන් සඳ දැකීමට පෙර දරුවෙකු උපන්නේ නම් ඒ සඳහාත්, සඳ දැකීමෙන් පසු අයෙකු මිය ගියහොත් ඒ සඳහාත් මෙම සහල් දානය ලබා දිය යුතුය.


