මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා.. ඒක ලේසි නෑ. පාස්කු ප‍්‍රහාරයට හදිස්සියේම යුක්තිය ඉටු කරන්න බෑ - රජය කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට මාසයක් හෝ දෙකක් තුළ යුක්තිය ඉෂ්ට කිරීමට නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පාර්ලිමේන්තුවේදී පැවසීය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට මාසයක් හෝ දෙකක් වැනි කෙටි කාලයකදී යුක්තිය ලබා දිය නොහැකියි. අපි මෙය තේරුම් ගත්තේ රජය භාර ගත්තාට පස්සේයි. ඒත් මේ මාසය ඇතුළත යමක් කරන්න අපි අපේ උපරිමය කරනවා,” යනුවෙන් ඔහු අයවැය කාරක සභා විවාදයට එක් වෙමින් සඳහන් කළේය.
“පාස්කු ප්‍රහාරය කියන්නේ දේශපාලන බලපෑමක් තිබුණු දෙයක්. දේශපාලන ඝාතනයක්. ඒකට දේශපාලනයත් සම්බන්ධයි. අපි කිව්වා පාස්කු ප්‍රහාරය ඇති කළේ, ඒවගේ යට හිටියේ දේශපාලඥයන්. දේශපාලනයට සම්බන්ධ වුණු නිලධාරීන්. දැන් අවුරුදු 06කට කිට්ටු වෙන්න එනවා. තවමත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වුණේ නැහැ. අපි පිළිගන්නවා ඒක. අපි දන්නවා මේක ලේසි වැඩක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය ඇති වුණේ යහපාලන ආණ්ඩු කාලයේ. අපි දන්නවා යහපාලන ආණ්ඩු කාලයේ හිටියේ කවුද කියලා.
යහපාලන ආණ්ඩු කාලයේ කවුද පොලිස් ඇමති කියලත් අපි දන්නවා. ඒවා කිසි දෙයක් වුණේ නෑ. පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලයේ ඒත් තිබුණා. සමහර අය පාටි දැම්මා. ඩිනර් ගත්තා ගෙදරට ගිහින්. කිව්වේ නෑ අනේ රනිල් අංකල් අපේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරලා දෙන්න කියලා. එහෙම මන්ත්‍රීලා ඉන්නේ. අපේ ආණ්ඩුව ආවට පස්සේ ඒ හැමදේම විමර්ශනය කරන්න පටන්ගත්තා. අපිට බෑ බාගෙට විමර්ශනය කරලා නඩු දාන්න.
එහෙම වුණොත් කියන්නේ නිදොස්කොට නිදහස්. අපිට හොඳට විමර්ශනය කරන්න අවශ්‍යයි. අපිට විශ්වාසයි පොලිස් අමාත්‍යාංශය යටතේ තිබෙන අදාළ අමාත්‍යාංශය. නිවැරදි විදියට විමර්ශනය කරලා, සාක්ෂි සම්පිණ්ඩනය කරලා , ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට එන බවට මට විශ්වාසයක් තිබෙනවා. පාස්කු ප්‍රහාරයට කොමිෂන් දැම්මා. වියදම් කළා සල්ලි. ඒවා පුස් කකා තිබුණේ මේ අවුරුදු 06ක කාලයක්. ඩී.එන්.ඒ. පරීක්ෂණය තුන් සැරයක් කළා. දේශපාලන බලපෑම් නෙවෙයිද? අපි අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවා අපේ ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයට සැබෑ යුක්තිය ඉටු කරනවා කියලා. ඒක දවසින් දෙකෙන්, මාසයෙන් කරන්න බෑ.
අපි අනිවාර්යෙන්ම මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා. ඒක ලේසි නෑ. ඒත් ඒක නෙවෙයි අවසානය. අපිට බෑ මේ මාස දෙක ඇතුළත මේක තමයි යුක්තිය, මේ තමයි මහ මොළකරු කියලා පෙන්වන්න. ඒකට තව කල් යනවා. මීගමුවේ ඉඳන් සෑම 21 වැනිදාම උද්ඝෝෂණ කළා. අපි සෑම අවුරුද්දකම පෙළපාළි ආවා. මේ අවුරුද්දෙත් කරනවා. මමත් යනවා පෙළපාලියට. මේ අප්‍රේල් 21. පෙළපාළි යන්න වෙනවා මේකට අවසාන විසඳුමක් ලැබෙනකන්. අවසාන විසඳුම ලැබීම මාසෙන් දෙකෙන් කරන්න බෑ. අපි ආණ්ඩුව ආවට පස්සේ හොඳටම තේරුම් ගත්තා. අපිට නිලධාරීන් එක්ක වැඩ කරන්න වෙන්නේ. කාර්ය මණ්ඩලය නෑ. ඒවත් එක්ක අපි ඒ පොරොන්දුව ලබා දෙනවා.”
