ටෙන්ඩරය මගහැර වැඩි මිලට තෙල් ගත් 'සමාගම' කවුද? සජිත් රජයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]
ශ්‍රී ලංකාවේ ඉන්ධන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී බරපතළ ගැටළු මතු කළේය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් පවතින බව කියන අක්‍රමිකතා පිළිබඳ පැහැදිලි කිරීමක් රජයෙන් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ස්ථාවර නියෝග 27(2) යටතේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පසුගිය මාස 12 තුළ ලියාපදිංචි කළ නව ඉන්ධන සැපයුම්කරුවන්ගේ තොරතුරු, ඔවුන් බෙදාහැරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කර තිබේද යන්න සහ වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ සැපයුම්කරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඉල්ලා සිටියේය.
එමෙන්ම, පසුගිය වසර තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්රදානය කළ හදිසි ප්‍රසම්පාදන සහ දිගුකාලීන කොන්ත්‍රාත්තු පිළිබඳ තොරතුරු මෙන්ම, ඒ සඳහා භාවිත කළ තාක්ෂණික හා වාණිජ ඇගයීම් නිර්ණායක හෙළි කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර ප්රමිතීන් සමඟ මෙම නිර්ණායක සංසන්දනය කර පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසද ඔහු අවධාරණය කළේය.
රටට සිදුවන මූල්‍ය පාඩු සම්බන්ධයෙන් අවධානය යොමු කළ ප්‍රේමදාස මහතා, දිගුකාලීන කොන්ත්‍රාත්තු සහ හදිසි මිලදී ගැනීම් අතර මිල ගණන් පිළිබඳ සංසන්දනාත්මක වාර්තාවක් ඉල්ලා සිටියේය. එමෙන්ම, වැඩිම පිරිවැයක් දැරූ ප්‍රසම්පාදන තුන, ඒ සඳහා ලැබුණු ලංසු ගණන සහ ටෙන්ඩර් ප්රදානය කළ ආකාරය පිළිබඳ විස්තරද ඔහු ඉල්ලා සිටියේය.
සපුගස්කන්ද පිරිපහදුවේ ඉරාන ලයිට් බොරතෙල් වෙනුවට මර්බන් බොරතෙල් භාවිත කිරීම නිෂ්පාදන ප්‍රතිශත, පිරිවැය සහ අවසන් මිල ගණන්වලට බලපා ඇති බවද ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටු සහ කැබිනට් ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අතර වෙනස්කම් තිබේද යන්නද පැහැදිලි කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම, කාලීන ටෙන්ඩරයක් ලබාගත් සැපයුම්කරුවෙකු එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පසු, එම ඉන්ධන වැඩි මිලකට ස්ථානීය ටෙන්ඩරයක් මගින් නැවතත් එම සමාගමටම ලබාදුන් බව කියන සිද්ධියක්ද ඔහු පෙන්වා දුන්නේය.
ඉන්ධන මිලදී ගැනීම් රටට අවාසිදායක වී ඇත්තේ ඇයි කියලා රජය ජනතාවට පැහැදිලි කළ යුතුයි යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.