අස්වැසුම දෙපාරක් වැටුණු පුවත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - බැර වූ අස්වැසුම නැවත අය කරන බව දැනුම් දෙයි
අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේදී ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බවට පවසන පුවත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින එම මණ්ඩලය අද (07) දින නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර ප්‍රතිලාභ ගෙවීමට ගත් කඩිනම් පියවර හේතුවෙන් බව සඳහන්.
පද්ධතිය තුළ මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් නොමැති වීම හේතුවෙන්, පද්ධතියෙන් බැහැරව (Slip file format) ගෙවීම් කිරීමට යාමේදී ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අතිරික්ත ගෙවීම් බැර වී ඇති බව එම නිවේදනයෙන් දන්වා ඇත.
එබැවින් දෝෂය හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ මණ්ඩලය, අදාළ බැංකු වෙත දන්වා අතිරික්ත මුදල් රජයේ ගිණුමට හරවා ගැනීමට පියවර ගෙන ඇති බවද දැනුම් දෙයි.
එමෙන්ම අතිරික්ත මුදල් බැර වූ ප්‍රතිලාභීන් අතරින් 49,759 දෙනෙකු මේ වන විටත් මුදල් ලබාගෙන ඇති බැවින්, ඔවුන්ගේ එම මුදල් (රුපියල් 248,795,000.00) 2026 මැයි මාසයේ ගෙවීමට නියමිත දීමනාවෙන් අය කර ගැනීමට සැලසුම් කර තිබෙන බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.
තවද එහි සඳහන් වන ආකාරයට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම ක්‍රියාවලිය නිසා රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී නොමැති බවයි.
එසේම ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු සඳහා අසත්‍ය තොරතුරු සමාජගත කරන බවත්, ජනතාව ඒ පිළිබඳව නොමග නොවිය යුතු බවත් දන්වා ඇත.
