රටේ භාණ්ඩාගාරය බරපතළ අර්බුදයක - එක දිගට වෙන මූල්‍ය ගැටලු මැද මැයි අස්වැසුම නැවත අය කළොත් තත්ත්වේ බරපතළ බවට විවේචන
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේක ලෙස ගෙවා තිබීම ජනතා බදු මුදල් සම්බන්ධයෙන් දක්වන වගකීම් විරහිතභාවය තවදුරටත් හෙළිදරව් කරන බවයි.
අඳාළ නිවේදනයට අනුව පුද්ගලයින් 49,759 දෙනෙකු වෙත අදාළ ගෙවීම් සිදුකර ඇති අතර, මෙතෙක් යළි අයකර ගැනීමට නොහැකි වී ඇත්තේ එම මුදල පමණක් බවද සඳහන්.
අස්වැසුම දෙපාරක් වැටුණු පුවත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - බැර වූ අස්වැසුම නැවත අය කරන බව දැනුම් දෙයි
එමෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින සියලු පාලන හා තුලන ක්‍රමවේදයන්ට පිටතින් මෙම මුදල් ජනතාව අතට පත්වීම බරපතළ කරුණක් බව දක්වන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මහා භාණ්ඩාගාරය මේ වන විට මූල්‍ය විනයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇති බවටද චෝදනා නගයි.
තවද මෙවැනි මුදල් හුවමාරු අනාගතයේදී රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධ අපරාධ, දූෂණ හෝ වංචා චෝදනා යටතේ විමර්ශනය කළ හැකි ගනුදෙනු බවටත් එම සංවිධානය අවධාරණය කර ඇත.
එසේම එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් අදාළ මුදල මැයි මස වාරිකයෙන් නැවත අයකර ගැනීමට කටයුතු කළහොත්, රටේ අන්ත දිළිඳු පවුල්වල පෝෂණ සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතපසුවීම් නිසා රටේ අන්ත දිළිඳු ජනතාව වන්දි ගෙවිය යුතු නොවන බව අවධාරණය කරන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මහා භාණ්ඩාගාරය පළපුරුදු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනය යටතට පත් කළ යුතු බවද අවධාරණය කරයි.
නැතහොත් භාණ්ඩාගාරයේ මෙවැනි අතපසුවීම්, වරදකාරී ගනුදෙනු සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් ජනතා බදු මුදල් අහිමිවීම තවදුරටත් සිදුවිය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.
