අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (12) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇදහැලීමේ හැකියාවක් ද පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන අතර, ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට දැනුම් දී ඇත.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු මැද පළාත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බව ද සඳහන් වේ.

සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයකින් තරමක තද සුළං හමා යා හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.