ඉඩම් දෙන බව පවසා මුදල් වංචා කළ ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු ක්ෂේත්ර නිලධාරියෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එම කොමිසමේ සේවය කළ කාල සීමාව තුළදී නෝර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්රදේශවලින් ඉඩම් කැබලි ලබා දෙන බව පවසා, හැටන් - දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු හරහා පුද්ගලයින් 70 දෙනෙකුගෙන් පමණ විශාල වශයෙන් මුදල් ලබාගෙන තිබිණි.
කෙසේවෙතත් කිසිවෙකුටත් ඉඩම් ලබා නොදීම හේතුවෙන් වංචාවට ලක්වූ පිරිස කළ පැමිණිලි මත ප්රකාශයක් ලබාදීමට හැටන් පොලිසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම හිටපු නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මුදල් වංචා සිද්ධියට අදාළව අදාළ හිටපු නාගරික මන්ත්රීවරයා ද මීට පෙර හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.