මාස තුනකින් දැකගන්න නැති මහසෙන් ඇතාට මොකද වුණේ? - වනජීවී නිලධාරියෙකු කියන කතාව
මාස තුනක පමණ කාලයකින් දැකගත නොහැකි වූ මහසෙන් දළ ඇතාට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.
වල් අලි විශාල ප්රදේශයක සැරිසරන බැවින් මාස ගණනක් දැකගත නොහැකිව සිට පසුව නැවතත් දර්ශනය විය හැකි බව ඔහු සඳහන් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී මහසෙන් ඇතා පිළිබඳ කළ ප්රකාශයට ප්රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇතැයි පුවත්පත් වාර්තා කරයි.
කවන්තිස්ස දළ ඇතාගේ මරණයෙන් පසු අලි ඇතුන් පිළිබඳ ජනතා සංවේදීතාව වැඩි වී ඇති නමුත්, සීමිත සේවක සංඛ්යාවක් සහිත වනජීවී දෙපාර්තමේන්තුවට සෑම අලියෙකුම නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම ප්රායෝගික නොවන බවද නිලධාරියා පෙන්වා දී තිබේ.
මේ අතර, පරිසර අමාත්යාංශයේ ඉල්ලීමකට අනුව පීඩාවට පත් අලි ඇතුන් සහ අලි පැටවුන් බේරාගැනීමට වනජීවී නිලධාරීන්ට සහාය වීම සඳහා ත්රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇත.
අනුරාධපුරයේ වෙවැල්කැටියෙන් බේරාගත් අලි පැටවෙකු පණ්ඩුලගම පශු වෛද්ය ඒකකයට රැගෙන ගොස් පසුව උඩවලව ඇත් අතුරු සෙවණ වෙත මාරු කර තිබේ.
එමෙන්ම, පොළොන්නරුවේ ගල්ලෑල්ල සහ මැණික්කම්පට්ටිය ප්රදේශවල පීඩාවට පත් වයස අවුරුදු හතක පමණ ඇතෙකු සහ සම්මාන්තුරේ ප්රදේශයේ තවත් අලි පැටවෙකු පිළිබඳවද අවධානය යොමු කර ඇත.
පීඩාවට පත් වන සතුන් බේරාගැනීම සහ මිනිස්-අලි ගැටුම් පවතින ප්රදේශ නිරීක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.