QR ක්‍රමයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිවලටත් තට්ටුවක්
ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමය හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවාවන්ට බාධා ඇති වීමේ බරපතළ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ, QR ක්‍රමය හේතුවෙන් ක්ෂේත්රගත රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය සේවා පවත්වාගෙන යාමේදී මේ වන විට අර්බුදයකට ලක්ව ඇති බවයි.
මෙම නව ක්‍රමවේදය හරහා සතියකට යතුරුපැදියක් සඳහා නිකුත් කරන පෙට්‍රල් ලීටර් 05 මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ ක්ෂේත්‍ර සේවා කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
බොහෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෛනිකව ග්‍රාම නිලධාරී කොට්ඨාස 04 සිට 10 අතර ප්‍රමාණයක නිවාරණ සෞඛ්‍ය සේවා ඉටු කරන බවත්, ඒ සඳහා රජය විසින් ලබා දී ඇති යතුරුපැදි යොදා ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කර ඇති බවත්, නිවාරණ සෞඛ්‍ය සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ නිවාරණ සෞඛ්‍ය සේවාවන්ට බාධා ඇති වීමේ අවදානමක් පවතින බැවින්, එය වහාම විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කළ යුතු බව සංගමය අවධාරණය කර තිබේ.