ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සූදානම් - සංවිධානාත්මක අපරාධ පනත හැදූ අයත් ඇමති සුනිල් වටගල හෙළි කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ වෙනුවට නව පනතක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
අද (26) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.ජාතික ජන බලවේගය ලබාදුන් ප්‍රතිඥාව අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ගෝලීය ත්රස්තවාදයට මුහුණදීම සඳහා ඕනෑම රටකට ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියක් අවශ්‍ය බවට වන පදනම මත නව පනතක් සම්පාදනය කර ඇති බවත්, එය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඊට අදාළ නිර්දේශ පාර්ලිමේන්තු සභාගර්භයේදී කියවා ඇති බවත් ඔහු පැවසුවා.
මේ අතර, සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කලබලයට පත්ව සිටින බවත්, එම පනත සකස් කළේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ.එස්.ජී. සුදර්ශන ද සිල්වා, මාලිකා සූරියප්පෙරුම ඇතුළු නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
එම කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවාදයට ලක් කිරීමෙන් අනතුරුව මේ වන විට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
සංවිධානාත්මක අපරාධ පනතේ ඇතැම් කොටස් සමාජයට නොගැළපෙන්නේ නම් ඒවා සංශෝධනය කරන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්, ජනාධිපතිවරයා සිය කතාවකදී සංශෝධන තුනක් පිළිබඳවද සඳහන් කර ඇති බවත් සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බැවින්, එම සියලු යෝජනා සැලකිල්ලට ගෙන කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය සංශෝධන සිදුකිරීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.