මහජන ආරක්ෂක ලේකම්ගේ පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 වැනිදා
By Malith Madushan
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව ලබන වසරේ පෙබරවාරි 19 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.
2023 වසරේදී වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් රවී සෙනෙවිරත්න මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉදිරියේ අද (26) සිදු කෙරුණා. එහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීම අවසන් කිරීමෙන් අනතුරුව පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා මෙලෙස දිනය නියම කර තිබෙනවා.