සිය රාජකාරී ටී-56 ගිනි අවිය දී ඩුබායිවාලට පැන්න සැකකරු අත්අඩංගුවට
ගල්කිස්ස පොලීසියට අනුයුක්තව මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී සිය රාජකාරී ටී-56 ගිනි අවිය සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සැඟවී සිටි ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි නමැත්තා අද (26) දිවයිනට රැගෙන විත් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි වෙත ගොස් අත්අඩංගුවට ගත් මෙම සැකකරු, අද (26) අලුයම 05.20ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-226 (UL-226) දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.
සැකකරු අනුරාධපුර, පේමඩුව, හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.