සියලුම ගුරුවරුන්ගේ ස්ථාන මාරු ගැන රජයෙන් විශේෂ තීරණයක් - කරන්න යන දේ මෙන්න
ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සහ ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරුවීම් සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන් මාරු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින්, ගුරු මාරු මණ්ඩලය නියම කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සඳහා ගැටලුකාරී බැවින් එය යළි සමාලෝචනය කරන ලෙස දැනුම් දීමට කාරක සභාව තීරණය කළේය.
ඇතැම් ජාතික පාසල්වල වසර 10කට වැඩි සේවා කාලයක් ඇති ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැති වීම හේතුවෙන් මතුවන ගැටලුවට විසඳුමක් ලෙස, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික හා පළාත් පාසල් අතර මාරු කිරීම්වල හැකියාව සොයා බැලීමට නීතිපති උපදෙස් ගැනීමට ද තීරණය විය.
තවද, ගුරු දත්ත පද්ධතියේ අඩුපාඩු සහ සේවා කාල තොරතුරු නිවැරදිව ඉදිරිපත් නොකරන පාසල් භෞතිකව පරීක්ෂා කිරීමටත්, උතුරු පළාතේ ගුරු මාරු ප්‍රතිපත්තිය වෙනුවට 2027 සිට ක්‍රියාත්මක නව ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් අවධානය යොමු කෙරිණි.
පාසල්වල අඩක් නිමකර අතහැර දමා ඇති සහ නිම කර භාර නොදුන් ගොඩනැගිලි පිළිබඳව ද සාකච්ඡා වූ අතර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය භාර නොදීමෙන් ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වීම සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් කිරීමට තීරණය විය.
ඊට අමතරව වවුනියාවේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමටත්, හම්බන්තොට ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21න් 12කට ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබා දීමටත් තීරණය කෙරිණි.
පෙර පාසල් නව විෂය නිර්දේශය අධීක්ෂණය කිරීමේ ක්රමවේදයක අවශ්‍යතාව, පළාත් සභා සහ අමාත්‍යාංශ අතර වගකීම් බෙදී යාමෙන් මතුවන පරිපාලන ගැටලු විසඳීම මෙන්ම නොමිලේ පාසල් දිවා ආහාර වැඩසටහනේ මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම සහ ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ද මෙහිදී අවධානයට ලක් වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.