සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වහාම තර කරන්න..! පොලිස්පතිට උපදෙස්..
කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව මෙන්ම, රටපුරා සියලු අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ ආරක්ෂාව වහාම තර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව එම උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා අධිකරණ සේවා සංගමය අප්‍රසාදය පළ කර තිබුණා.
පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී තිබුණේ ඊයේ උදෑසන සිට මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවයි.
විනිෂ්චයකාරවරුන් සඳහා ආරක්ෂාව සැපයීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට චක්‍රලේඛ මගින් නියම කර තිබියදී එකී චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීමට තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවට එම සංගමය චෝදනා කර තිබුණා.
මේ සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය යොමුකර තිබූ ලිපියෙහි දැක්වුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |