අවාසනාවන්ත ලෙස පුළුස්සා ඝාතනය කළ ප්‍රියන්ත ගේ බිරිඳ කී දේ..ප්‍රධාන සැකකරු ගැන විශේෂ අනාවරණයක්

imran khan peradeniya university priyantha kumara parkistan ahindha rajapaksha
By Sithumi Dec 04, 2021 01:47 PM GMT
Sithumi

Sithumi

Report

පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 120 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.පාකිස්තානයේ සියල්කොට් හී මෙලෙස ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හැදෑරු ප්‍රියන්ත මහතා 2010 වසරේදී එරට ඇඟලුම් කර්මාන්තශාලාවක කාර්මික ඉංජිනේරු කළමනාකරුවෙකු ලෙස සේවයට එක්වී තිබුණි. ඔහු මියයන විට සේවය කරමින් සිටි පන්ජාබ් පළාතේ ක්‍රීඩා උපකරණ කම්හලට එක්වී ඇත්තේ 2012 වර්ෂයේදීය.

ගණේමුල්ල, පොකුණ හන්දිය ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත කුමාර මහතාට වයස අවුරුදු 14ක් සහ 9ක වන පුතුන් දෙදෙනෙකුද සිටී. ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ,

"මම ඉන්ටර්නෙඩ් එකෙන් සිද්ධිය දැක්කා. මගේ සැමියා අහිංසක කෙනෙක්. මම අපේ ජනාධිපතිතුමාගෙන් සහ පාකිස්තානයේ අගමැතිතුමාගෙන් මේ සිද්ධියට සාධාරණය බලාපොරොත්තු වෙනවා. මට මේ සිද්ධිය දරාගන්න බෑ."

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු‍ණේ ඉස්ලාමයේ නබි මුහම්මද් තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයින් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහුව මරාදමා ඇති බවය. පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නිල ඇඳුම් සකස් කිරීම සිදුවන්නේ ද ප්‍රියන්ත සේවය කරන ක්‍රීඩා උපකරණ කම්හලෙන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සියල්කොට් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානී උමාර් සයීඩ් මලික් විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඊයේ පෙරවරු 11.30 පමණ මෙම සිදුවීම පිළිබඳ පොලීසියට තොරතුරු ලැබුණු වහාම එම ස්ථානයට ගොස් තත්ත්වය පාලනයට උත්සාහ කළ බවය. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ෆර්හාන් ඉද්‍රීස් නම් පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 120දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රධාන සැකකරු TPL නමැති දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයකු බව අද අනාවරණ වී තිබේ. කෙසේවෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර තිබේ. අද පස්වරුවේ ප්‍රකාශයක් කරමින් පන්ජාබ් ආණ්ඩු මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කර තිබුණේ මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රධාන විත්තිකරුවන් වන්නේ ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් යන අයට එරෙහිව පොලීසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසුවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහතික වූ අයුරින්ම මෙම සිද්ධිය සම්බන්ධව පියවර ගනු ඇතැයි විශ්වාසකරන අතර එරට රැඳීසිටින අනෙකුත් සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියේ පකිස්තානයේදී ප්‍රියන්ත ට අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා මාරාන්තික ප්‍රහාරය දැකීමෙන් තමන් කම්පා වූ බවය. එසේම ඔහුගේ බිරිඳ සහ පවුලේ අය වෙත සංවේගය පළ කරන අතරම අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවනු ඇතැයි ශ්‍රී ලංකික ජනතාව විශ්වාසයෙන් පසුවන බවද අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා යුක්තිය පිළිබඳ ලබාදුන් පොරොන්දුව ගරු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ අතර මහජන යුතුකම් කේන්ද්‍රෙය් සභාපති පූජ්‍ය ජඹුරලියේ චන්දරතන හිමියන් විසින් අද පෙරවරුවේ කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට පැමිණ මෙම සිද්ධියට විරෝධය පා සංදේශ භාර දෙනු ලැබීය.

මියගිය ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන් හට ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවන ලෙසටද උන්වහන්සේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් , ඒ සම්බන්ධයෙන් මේ වන විට පාකිස්තානය ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බවත් සඳහන් කරමින් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාර දුනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now