විදුහල්පති තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු නව තරග විභාගයක්.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව තරඟ විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් කැඳවා තිබුණා..
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් සමතයක් යෝජනා කළ හැකි බවයි.
එමෙන්ම විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා නව අයදුම්පත් කැඳවා විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පත්වීම් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ඔහු එහිදී කියා සිටියා.
ඒ, අනුව එම විභාග පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස වන විට සිදුකළ හැකි බව ද පිළිතුරු පත් ඇගයීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු ලබන වසරේ අගෝස්තු මස පමණ වනවිට සිදුකළ හැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් වැඩිදුරටත් සඳහන් කළේ..
මේ අතර මෙම තනතුරු සඳහා පත්වීම් සිදු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම අවස්ථාවේදී අදාළ පත්වීම් සිදු කළ නොහැකි අතර ලබන වසර වන විට එම කරුණ සමතයකට පත් කිරීමට හැකි බවත් ඔහු කියා සිටියා.
