ගැබිනියන්ට මේ එන්නත හොද නෑ. අනිත් සියලු එන්නත් වකට අනුමැතිය

sri lanka Pregnant mothers sputnic
By Sithumi Aug 16, 2021 12:24 PM GMT
Sithumi

Sithumi

Report

ගැබිනි මවුවරුන්ට ‘ස්පුට්නික් වී’ හැර මෙරට භාවිතා වන අනෙකුත් සියලුම කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට උපදේශන කමිටු අනුමැතිය හිමිව ඇතැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා පැවසීය.

ගැබිනි මවුවරුන්ට ලබාදීම සඳහා මේ දක්වා අනුමැතිය හිමිව තිබුණේ සයිනොෆාම් එන්නත පමණක් වන අතර ඉදිරියේදී ඔවුන්ට තවත් එන්නත් වර්ග තුනක් ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ගැබිනි මවුවරුන්ට සයිනොෆාම් එන්නතට අමතරව ෆයිසර්, ඇස්ට්‍රා සෙනෙකා හා මොඩර්නා එන්නත් ද ලබාගත හැකි බව ඔහු කීවේය. පවතින තත්වය අනුව සියලුම ගැබිනි මවුවරුන් ඉදිරි දෙසතිය තුළ අනිවාර්යයෙන් කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට මහතා පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ගර්භනී මවකට ආසාදනය කොවිඩ් ආසාදනය වුවහොත් කොවිඩ් නියුමෝනියාව ඇතිවීමේ අවදානම වැඩි බවත්, එයින් මව මරණයට පත්වීමටය, දරුවා නියමිත දිනට පෙර බිහිවීමට මෙන්ම බිහිවීමට පෙර මියයාමට පවා හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙරට ගැබිනි මවුවරුන් 30,000ක් පමණ මේ වන විට එන්නත ලබාගෙන ඇති අතර ඔවුන්ට කිසිඳු සංකූලතාවක් මතුව නැතැයි ද හෙතෙම සඳහන් කළේය. මෙම එන්නත් ගැබිනි මවුවරුන්ට ඉතා ආරක්‍ෂිත බවට මේ වන විට ප්‍රමාණවත් දත්ත ඇති නිසා බියනොවී එන්නත ලබාගන්නා ලෙසත්, පනතින තත්වය අනුව එන්නත ලබානොගැනීම අනාරක්‍ෂිත බවත් විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට මහතා පැවසීය. ගර්භනී මවකට ගැබිනි සමයේ ඕනෑම අවස්ථාවක එන්නත ලබාගත හැකි අතර පිටගැස්ම එන්නත ලබාගෙන නැති මවුවරුන් ඊට පෙර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සුදුසු බව ද කීවේය.

මෙතෙක් එන්නත ලබානොගත් ගැබිනි මවුවරුන් සිටී නම් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රදේශයේ සායනයට පැමිණ එන්නත ලබාගත හැකි බවත්, ඔවුන් මේ මාසය නිමවීමට පෙර පළමු මාත්‍රාව හෝ ලබාගැනීම වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now