දැවී යාමේ කෝපයෙන් පිත්තෙන් ගහලා ප්‍රභාත් ජයසූරියට ICCයෙන් රතු එළියක්
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් නිල තරවටුවක් ලබාදී එක් දඬුවම් ලකුණක් එක් කර තිබේ.
ඉන්දියාවට එරෙහි දෙවැනි ICC ලෝක ටෙස්ට් ශූරතා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේදී දැවී යාමෙන් අනතුරුව ජයසූරිය සිය පිත්තෙන් සීමා කුඤ්ඤවලට පහර දීම මෙම විනය ක්‍රියාමාර්ගයට හේතු වී ඇත.
ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලය සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය යටතේ ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ, බිම් උපකරණ හෝ සවිකිරීම් අනිසි ලෙස භාවිත කිරීම වරදක් ලෙස සැලකේ. මෙය ජයසූරිය පසුගිය මාස 24ක කාලය තුළ සිදු කළ පළමු වරද වන අතර, ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් එක් කර තිබේ.
ජයසූරිය එම වරද පිළිගෙන ඇති බැවින් නිල නඩු විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ICC සඳහන් කරයි.