ඇමති සමඟ ගැටුම් නිසා විදුලි ලොක්කෙක් ඉල්ලා අස්වෙයි - CEB බෙදීමේ ගැටලු රැසක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2024 වසරේ පිහිටුවූ විශේෂ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා එළඹෙන ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.
මීට පෙර අමාත්‍යවරයා විසින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීම අවලංගු කර තිබුණද, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පසු එය 2026 ජූනි දක්වා දීර්ඝ කර තිබියදී මෙම ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයකි.
මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් ආයතනය තුළ පරිපාලන ගැටළු ඇතිවී ඇති බවත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන බවත් සේවකයෝ පෙන්වා දෙති.
ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවකයින් 2,200කට අධික පිරිසක් වහාම සේවයෙන් මුදා හැරීමට ඉඩ සලසන ලෙස බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
පාලනාධිකාරිය විසින් තමන්ව "බලහත්කාරයෙන්" සේවයේ රඳවාගෙන සිටින බව පවසන මෙම සේවකයින් අතර මධ්‍යම මට්ටමේ වෘත්තිකයින් විශාල පිරිසක් සිටින බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය ස්වාධීන ආයතන හතරක් (ජනන, සම්ප්‍රේෂණ, පද්ධති මෙහෙයුම් සහ බෙදා හැරීම) ලෙස වෙන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසරේ අගෝස්තු 26 වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය ප්‍රකාශයට පත් කරන ලදී.
"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි
පනතට අනුව, නව සමාගම් වෙත එක් වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක කාලයක් ලබා දී තිබුණි. ඒ අනුව 2025 ඔක්තෝබර් 27 වන විට සේවකයින් 2,200 ක් පමණ නව ආයතන සමඟ සම්බන්ධ නොවන බවට නිල වශයෙන් දැනුම් දී තිබේ. අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියක් මගින් සේවකයින් පෙන්වා දෙන්නේ තමන්ට හිමි විය යුතු විශ්‍රාම වන්දි පසුව ගෙවුවද ගැටලුවක් නොමැති නමුත්, වහාම සේවයෙන් ඉවත් වීමට අවසර ලබා දීම අත්‍යවශ්‍ය බවයි.
මෙම ප්‍රමාදය හේතුවෙන් තමන්ට හිමි වී ඇති විදේශ රැකියා අවස්ථා, පෞද්ගලික අංශයේ රැකියා සහ ස්වයං රැකියා ආරම්භ කිරීමට ඇති අවස්ථා අහිමි වෙමින් පවතින බව ඔවුහු පවසති.
"පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා විදේශගත වීමට හෝ ව්‍යවසායකත්වයට යොමු වීමට තීරණය කළ තරුණ වෘත්තිකයන් රැසක් අද වන විට දැඩි මානසික සහ මූල්‍ය පීඩනයකට ලක්ව සිටිනවා. ඇතැම් සේවකයින් විදේශගත වී ඇති අතර ඔවුන්ගේ සේවය අත්හැර ගියා සේ සලකා නිවේදන නිකුත් කිරීම නිසා ඔවුන්ගේ විශ්‍රාමික හිමිකම් පවා අවදානමට ලක්ව තිබෙනවා"
යැයි එම ලිපියේ සඳහන් වේ.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සම්පූර්ණ වත්කම් පැවරීම සඳහා 'නියමිත දිනය' ලෙස 2026 පෙබරවාරි 1 වනදා නියම කර තිබුණද, අමාත්‍යවරයා විසින් මෙතෙක් එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර නොමැත.
මේ හේතුවෙන් අලුතින් පිහිටුවන ලද සමාගම්වලට නීත්‍යානුකූල බලයක් නොමැති අතර, සේවකයින් සිය අභිමතයට එරෙහිව රඳවා තබා ගැනීම නිසා ආයතනික ඵලදායිතාව ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවට ඔවුහු අනතුරු අඟවති.
පවතින අවිනිශ්චිතතාවය නිමා කරමින්, 2026 පෙබරවාරි 1 වන දින හෝ ඊට පෙර 'නියමිත දිනය' ප්‍රකාශයට පත් කරන ලෙසත්, ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම තෝරාගත් සේවකයින්ට සේවයෙන් ඉවත් වීමට ඉඩ සලසන ලෙසත් ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.