තැපෑලෙනුත් කොරෝනා පොකුරුක්...මංගල උත්සව පොකුරුත් වැඩි වෙයි...
මෙරටින් ඊයේ වාර්තාවූ ආසාදිතයන් 2,510 දෙනාගෙන් ආසාදිතයන් 300 ඉක්මවා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තාවී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් 398 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 384 දෙනෙකුත් ඊයේ (01) වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම 100 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, මාතලේ යන දිස්ත්‍රික්කවලින් වාර්තාවී තිබෙනවා.
පෙරේදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද මරණ 67ත් සමඟ මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,508 ක් ලෙසයි.
මෙරට තුළ වෙනත් රෝගවලින් මියයන ප්‍රමාණයට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් මියයන තත්වයක් පවතින බවයි ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ, රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර දිවයින පුරා විවාහ මංගල උත්සව ආශ්‍රිතව මේ වනවිට කොරෝනා පොකුරු වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
මේ අතර අද දිනයේ තවත් ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ සාම්පල 96 ක් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකරන බවයි.
දිවයිනම ආවරණය වන පරිදි එම සාම්පල ලබාගෙන ඇති බව ඔහු කියා සිටියා.
ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවීමත් සමඟ පවතින අවදානම සහ රෝගීන් සංඛ්‍යාව අවම කරගැනීම සඳහා ජනතාවට සමාජමය වගකීමක් ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ.
මේ අතර පිළියන්දල තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති ඇතුලු 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවා.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන ෂේන් වෝන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහු ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එංගලන්තයේ මේ වනවිට පැවැත්වෙන පන්දු සියයයේ ක්‍රිකට් තරගාවලියේ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ෂේන් වෝන් කටයුතු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |