''පෝට් සිටියේ රැකියාවට ගියොත් අවම වැටුප ඩොලර් 1,000යි''

salary port city Namal rajapaksha colombo harbor Priyath Bandu
By Sewvandhi Jun 12, 2021 04:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ වරාය නගරයේ (Colombo Port City) රැකියා අවස්ථා හිමිවන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඇමෙරිකානු ඩොලර් 1000ක (රු. දෙලක්ෂයක) අවම වැටුප් හිමිවනු ඇත.

රැකියාවේ ස්වාභාවය අනුව එම වැටුප් තල වෙනස් වන අතර ඇමෙරිකානු ඩොලර් 1000 සිට ඉහළට, ඩොලර් 1500, 2000, 3000 යන වැටුප් තල හිමිවන අතර ඊට ඉහළ වැටුප් රැකියාවේ ස්වභාවය අනුව හිමිවන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජික ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.

මුල් වසර 5-10 අතර රැකියා අවස්ථා 83,000ක් ඇතිවන අතර පළමු වසර දෙක තුළ රැකියා අවස්ථා 10,000ක් පමණ හිමිවන බව ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සඳහන් කරයි. මුල් වසර 2 තුළ මූලික ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කෙරෙන අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් මෙරට තරුණ පිරිස්වලට හිමිවන බවත් වසර 2කින් අනතුරුව කාර්යාල ආයතන ස්ථාපිත වී ඊට අදාළ රැකියා අවස්ථා හිමිවන බවත් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

හොඳ අධ්‍යාපනයක් සහිතව පරිගණක දැනුම තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව ගැන හැකියාව තිබෙන තරුණ තරුණියන්ට මෙහිදී වැඩි අවධානය යොමුවීමට ඉඩ සැලසෙන බව ද ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේ ය.

බැංකු, රෝහල්, විශ්වවිද්‍යාල, පරිගණක ආයතන, තොරතුරු තාක්ෂණ ආයතන, උසස් අධ්‍යාපන ආයතන, විවිධ කාර්යාල, විවිධ සේවා සපයන ආයතන, හෝටල් සම්මන්ත්‍රණ ශාලා, විවේක උද්‍යාන, ක්‍රීඩා ක්‍රියාකාරකම්, සාප්පු සංකීර්ණ, අදාළ ආයතන රැසක හා ජාත්‍යන්තර ආයතන රැසක කාර්යාල කොළඹ වරාය නගරයෙහි ස්ථාපනය වන බවත් මෙසේ රැකියා අවස්ථා විශාල වශයෙන් මෙරට තරුණ තරුණියන්ට හිමිවන බවත් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා විසින් පෙන්වා දෙන ලදී.

කොළඹ වරාය නගරයෙහි රැකියා අවස්ථාවලින් 75%කට වඩා මෙරට තරුණි තරුණියන්ට හිමි විය යුතු බවට පසුගියදා රජය මගින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ක්‍රීඩා හා තරුණ අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසිනි.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now